ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කළ අන්තර්ජාල සූදුවක් (Online Game) හේතුවෙන් 16 හැවිරිදි දක්ෂ ශිෂ්‍යයෙකු සිය ජීවිතයට සමුදී ඇති පුවතක් මුළු රටම කම්පාවට පත් කර තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නැමැති ශිෂ්‍යයායි. සඳරූගේ පියා නීතිඥවරයෙකු වන අතර මව ගුරුවරියකි. ඉගෙනීමට අති දක්ෂයෙකු වූ සඳරූ, සාමාන්‍ය පෙළට පෙර ශ්‍රේණි දෙකකින් පවා ඉහළට දැමීමට පාසල කටයුතු කර තිබූ දීප්තිමත් සිසුවෙක්.
සිකුරාදා උදෑසන සඳරූ බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙහෙයවන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පියා සමඟ කොළඹ යාමට නියමිතව තිබුණා. ඒ සඳහා ඔහු පෙරදින රාත්‍රියේ පාඩම් කරමින් සිටිනු පියා දැක තිබෙනවා. නමුත් අලුයම 3.35 ට පමණ කුරුණෑගල උඩවල්පොල පාරේ ඔවුන් පදිංචිව සිටි සිවුමහල් ගොඩනැගිල්ලෙන් ඇසුණු "දඩාස්" හඬක් මුළු පවුලම අඳුරේ ගිල්වා දමනවා...
සිද්ධිය වූ ස්ථානයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා මහතා විසින් පරීක්ෂණ පවත්වලා තියෙනවා. එහිදී අනාවරණය වූ කරුණු ඕනෑම දෙමාපියෙකුගේ ඇඟ කිලිපොලා යන සුළුයි
සඳරූ බිමට වැටුණු සිවුමහල් ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ ඔහුගේ පාවහන් යුගල ඉතාම පිළිවෙළට ගලවා තබා තිබුණා... පාවහන් අසලම තිබී හමුවූයේ ඔහුගේ පියාගේ ජංගම දුරකතනයයි. පියාට දුරකතනය හමුවන විටත් එහි අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් (Game) ක්‍රියාත්මකව තිබිලා තියෙනවා.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මියයන්නට පෙර බොහෝ වේලාවක් මෙම ක්‍රීඩාවේ නිරතව ඇති බවයි. මෙම ක්‍රීඩාවන් ඇතැම් විට අවසානයේ සියදිවි නසා ගැනීමට මනසට අණ දෙන හෝ පොළඹවන සුළු ඒවා බවට සැක කෙරෙනවා..
"පුතා සිටි කාමරේ මගේ බිරිඳත් නිදාගෙන හිටියා. පාන්දර බිරිඳ බලනකොට පුතා කාමරේ හිටියේ නැහැ. උඩ මහලේ පුතාගේ සෙරෙප්පු දෙකයි මගේ ෆෝන් එකයි තිබුණා. පහළ පිරිසක් රැස් වෙලා කෑගහනකොට තමයි දන්නේ වැටිලා ඉන්නේ අපේ පුතා කියලා..."
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඉහළ සිට වැටීමේදී හිසට, මොළයට සහ පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සඳරූ මියගොස් ඇති බවයි.