හැබැයි ඔබ දන්නවාද ඔබේ ශරීරයේ තියෙන "බල නහරයක්" එහෙම නැත්නම් ප්‍රධාන ධමනියක් කැපුණොත්, විනාඩි කිහිපයක් ඇතුළත ඔබේ පණ යන්න පුළුවන් කියලා?
මේක සෙල්ලම් විහිළුවක් නෙවෙයි. හදිසි අනතුරකදී හෝ වෙනත් අවාසනාවන්ත සිදුවීමකදී මෙවැනි දෙයක් වුණොත්, ගිලන් රථයක් එනකම් බලන් හිටියොත් වෙන්නේ ලොකු විනාශයක්. අන්න ඒ නිසාම, ප්‍රකට ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා මහත්මිය ලබාදුන් උපදෙස් ඇසුරින් මේ වටිනා තොරතුරු පෙළ අපි ඔබට ගෙන එනවා.
ධමනි කියන්නේ හදවතේ ඉඳලා පිරිසිදු රුධිරය ශරීරය පුරා අරන් යන පයිප්ප වගේ නහර වලටයි. මේවා කැපුණොත් ලේ විදින්නේ හරියට වතුර පයිප්පයක් ඇරියා වගේ. හදවත ගැහෙන වේගයටම රුධිරය පිටතට විදින නිසා විනාඩි කිහිපයකින් සිරුරේ රුධිරය හිස් වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්.
මෙන්න මෙහෙම දෙයක් වුණොත් වහාම කළ යුතු දේ,
1. මුලින්ම ලේ යන එක නවත්තන්න!
වැදගත්ම දේ තමයි රුධිර වහනය පාලනය කිරීම. තුවාල වූ ස්ථානය රෙදි කැබැල්ලකින් හෝ ඉටි කවරයකින් වහලා අත් දෙකෙන් තද කරලා අල්ලන්න. පුළුවන් නම් තුවාල වුණු අත හෝ කකුල හදවතේ මට්ටමට වඩා ඉහළට ඔසවාගෙන ඉන්න. (මතක තබා ගන්න: වෙනත් අයෙකුගේ රුධිරය ස්පර්ශ කිරීමෙන් වළකින්න, ලෙඩ රෝග බෝවීමේ අවදානමක් පවතිනවා!)
2. උදව් ඉල්ලන්න
ඔබ තනියම නම් ඉන්නේ, වහාම ගිලන් රථයකට (1990) කතා කරන ගමන්ම තුවාලය තද කරගෙන ඉන්න. පිරිසක් ඉන්නවා නම් එක් අයෙක් තුවාලය තද කරද්දී අනෙක් අය ගිලන් රථයකට හෝ රෝහලට රැගෙන යාමට උත්සාහ කරන්න.
3. පටියක් ගැටගැසීම
තුවාලයට ඉහළින් රෙදි පටියකින් තද කර ගැටගැසීම කරන්න ඕනේ වෙනම විකල්පයක් නැතිනම් විතරයි. හැබැයි මේකේ භයානක පැත්තක් තියෙනවා. ලේ යන්නේ නැති වෙන්න තද කරලා ගැටගැහුවොත්, ඒ කොටසට රුධිරය නොලැබීම නිසා පසුව ඒ අත හෝ කකුල කපා ඉවත් කරන්න පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 10-15 කට වරක් ඒ ගැටය පොඩ්ඩක් බුරුල් කරලා ආයෙත් තද කරන්න ඕනේ.
එක් අවස්ථාවක සර්පයෙක් දෂ්ට කළ දරුවෙකුගේ කකුල පැය 24ක් තද කරලා ගැටගහලා තිබීම නිසා රුධිරය ගලා නොයාමෙන් එම දරුවා මියගිය බව හෙද නිලධාරිනිය මතක් කර සිටිනවා. ඒ නිසා ගැටගැසීම ගැන සැලකිලිමත් වෙන්න.
ලොකු රුධිර වහනයක් වුණාම සිරුරේ රුධිර පරිමාව අඩු වෙනවා (Hypovolemic Shock). මේ නිසා රුධිර වහනය නතර කළාට පස්සේ අනිවාර්යයෙන්ම රෝහලකට ගිහින් අහිමි වුණු රුධිරය නැවත ලබාගන්න ඕනේ.