වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීම මගින් වයස්ගත වීමේදී මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට සහ ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම අඩු කිරීමට හැකි විය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ සීනි සලාක ක්‍රමය අවසන් වීමත් සමග ජනතාවගේ සීනි පරිභෝජනය හදිසියේ ඉහළ යාම පදනම් කරගනිමින්.
1953 සැප්තැම්බර් මාසයේ සීනි සලාක ක්‍රමය අවසන් වීමෙන් පසු, සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික සීනි පරිභෝජනය ග්‍රෑම් 41ක පමණ ප්‍රමාණයක සිට ග්‍රෑම් 80 දක්වා ඉහළ ගිය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.
එක්සත් රාජධානියේ UK Biobank ව්‍යාපෘතියට සහභාගී වූ පුද්ගලයින් 65,000කට ආසන්න පිරිසකගේ දත්ත විශ්ලේෂණය කළ මෙම පර්යේෂණය මගින්, වයස අවුරුදු දෙකට පෙර සීනි සීමා වූ පරිසරයක හැදී වැඩුණු පුද්ගලයින්ට ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම සියයට 23කින් පමණ අඩු බවත්, එම රෝගය හඳුනාගැනීම සාමාන්‍යයෙන් වසර දෙකහමාරකින් ප්‍රමාද වූ බවත්, සොයාගෙන තිබෙනවා.
පර්යේෂණ කණ්ඩායමේ ජියාෂෙන් ෂෙන්ග් (Jiazhen Zheng) සඳහන් කර ඇත්තේ, ජීවිතයේ මුල් අවධියේ සීනි පරිභෝජනය සීමා කිරීම මොළයේ සෞඛ්‍යයට දිගුකාලීන වාසි ලබාදිය හැකි බව මෙම සොයාගැනීම් පෙන්වා දෙන බවයි.
කෙසේ වෙතත්, එම සම්බන්ධතාවය තහවුරු කිරීමට තවත් පර්යේෂණ අවශ්‍ය බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය නිරීක්ෂණාත්මක අධ්‍යයනයක් වන බැවින්, සීනි අඩුවෙන් ආහාරයට ගැනීම ඩිමෙන්ෂියාව සෘජුවම වළක්වන බවට නිශ්චිතව තහවුරු කළ නොහැකි බවයි.
තවද, පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයින් සැබවින්ම කොපමණ සීනි ප්‍රමාණයක් පරිභෝජනය කළේද යන්න නිශ්චිතව නොදන්නා අතර, ඔවුන් උපත ලැබූ කාලය පමණක් සීනි සලාක ක්‍රමයට සාපේක්ෂව විශ්ලේෂණය කර ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
එසේම, 1940 සහ 1950 දශකවල උපත ලැබූ පුද්ගලයින්ගේ දත්ත මත පදනම් වූ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල වර්තමාන දරුවන්ට සෘජුවම අදාළ කරගැනීමේදී ප්‍රවේශම් විය යුතු බව ද විශේෂඥයින්ගේ අදහස බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, සමබල ආහාර වේලක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වැදගත් වන අතර, ඒ සඳහා හොඳ පුරුදු ආරම්භ කිරීමට කිසිවිටෙකත් ප්‍රමාද නොවන බව ද ඔවුන් අවධාරණය කරනවා.