සිංහලෙන් හෙන්දිරික්කා , හින්දිරික්ක ලෙසටද දෙමලෙන් පට්ටරාසු නමින්ද ඉංග්‍රීසියෙන් Marvel of Peru , Four ‘O’ clock flower යනුවෙන්ද සංස්කෘතයෙන් ක්‍රිෂ්ණකේලි , සන්ධ්‍යාකාලි යනුවෙන් හදුන්වනු ලබන හෙන්දිරික්කා ශාකය Nyctaginaceae උද්භිද කුලයට අයත් ශාකයක්.
මෙහි නිජබිම නිවර්තන ඇමරිකාව වුවත් අප්‍රිකාව , ඉන්දියාව , චීනය ආදී රටවල පවා දක්නට ලැබෙනවා. අප රටේ සෑම ස්ථානයකම පාහේ හොදින් වැවෙනවා.
හෙන්දිරික්කා 30cm සිට මීටරයක් දක්වා උසට බෙහෙවින් අතු පැතිරී වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියක්. ශීග්ර වර්ධනයක් සහිත අකාෂ්ඨමය ශාකයක් වන මෙහි පොළවෙන් උඩ කොටස කෙටි කලකින් මිය ගියද අලය නොනැසී පවතිනවා. හෘදයාකාර සරල පත්ර දිග 5 cm - 15cm සහ පළල 3cm - 4cm පමණව සම්මුඛව පිහිටා තිබෙනවා.
ක්රමවත්ව පිහිටන ද්වී ලිංගික පුෂ්ප අලංකාරවත්. දම්, සුදු, රතු, කහ ආදී පාටවලින් යුත් මල් හට ගන්නා හෙන්දිරික්කා ප්රභේද රාශියක් දක්නට ලැබෙනවා.. ඵලය දාර සහිත චර්මලයක්.
සවස් කාලයේ මල් පිපෙන හෙන්දිරික්කා ගෘහ අලංකරණය සඳහා විසිතුරු මල් පැළෑටියක් ලෙසට බහුතරයක් දෙනා වවන්නේ එහි ඇති ඖෂධීය බව නොදැනයි. සන්ධ්යා කාලයේ 4ට පමණ මෙහි මල් පිපීමට පටන් ගැනීම ශාක ලෝකයේ සුවිශේෂි වූ රිද්මයානුකුල සංසිද්දියක් ලෙස සැලකෙනවා.
මලබද්ධය , වණ , සැරව ගෙඩි , ඉදිමුම් , ශාරීරික දුබලතා , තැලුම් , ගෙඩි , පිලිස්සුම් ආදියට ප්රතිකාර කිරීමට හෙන්දිරික්කා ශාකයේ කොළ, මුල්, අල සහ ඇට භාවිතා කරයි. හෙන්දිරික්කා රේචන , ශාමක , ශක්තිජනක හා බලකාරක ගුණ සහිතයි.
- පිලිස්සුම් තුවාල සඳහා සම්පූර්ණ ශාකය කොටා යුෂ ගෙන තුවාලයේ ආලේප කිරීම හෝ එම යුෂ තල තෙල් සමඟ කකාරා ආලේප කිරීම සිදු කරයි.
- සැරව ගෙඩි සඳහා මුල් අඹරා ප්රලේපයක් ලෙස යොදයි.
- ශාරීරික දුර්වලතාවයන්ට හෙන්දිරික්කා මුල් එළඟිතෙලෙන් බැද එළකිරි සමඟ වැලඳිය යුතුය.
- තැල්මට මුල් ඇල් දියෙන් ගලගා ආලේප කරයි.
- කොළ යුෂ රත්කර ආලේප කිරීමෙන් ගෙඩි පැසවා යයි.
- ආසාත්මිකතාවයක් නිසා ඇති වන කරප්පන්වලට පත්ර ස්වරසය ආලේප කරයි.
- සර්ප විෂ සදහා ප්‍රතිකාර කිරීමට මේ පැලෑටිය යොදාගන්නා අතරත පැත්තැවකු කෑ විට අලය , දෙහි අබුලින් උරච්චි කල ගෑවිට විස බහි.
- හෙන්දිරික්කා අල මෘදු විරේචන ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
හෙන්දිරික්කා මල් පූජකිරීමටත් ගුප්ත විද්යා කටයුතු සඳහාත් ආහාර වර්ණකයක් ලෙසත් යොදා ගන්නා අතර කොළ පළාවක් ලෙස කෑමට ගත හැකියි. සවස 4 ට පමණ මල් පිපෙන බැවින් පැරැන්නෝ වේලාව දැන ගැනීමට මෙම ශාකය භාවිතා කර තිබෙනවා. හෙන්දිරික්කා මුල් සහ ඇට යම් විෂ සහිත බවකින් යුක්ත නිසා උපදෙස් මත මුල් හා ඇට ඔසු පිණිස භාවිතය වැදගත් වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්...