භානුක රාජපක්ෂ කියන්නේ මෑතකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ නවතම ක්‍රීඩකයෙක්. වමත් පිතිකරුවෙක් වගේම මද වේග පන්දු යවන්නෙක් වූ භානුක මේ වෙද්දී ජාතික කණ්ඩායමට එකතු වෙමින් පන්දු වාර විස්සයි විස්ස තරග සදහා සම්බන්ධ වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ භානුක ගැනයි මේ තොරතුරු.
මේ දිනවල භානුකගේ කාලසටහන කාර්යබහුල ඇති නේද..?
පහුගිය දවස් ටිකම පුහුණුවීම් එක්ක කාර්ය බහුල වුණා. ඉදිරියේදී තරග පැවැත්වෙනවා. ඒ සදහා විශේෂයෙන් පුහුණුවීම් කළා. බටහිර ඉන්දීය කොදෙව්වන් එක්ක පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකක් හා එක් දින තරග සදහාත් සම්බන්ධ වෙලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
විවේකයක් තියෙන වෙලාවට වැඩිපුර නිදහසේ ඉන්න උත්සහ කරනවාද..?
විවේකයක් නම් නැති තරම්. රෑ කීයට නිදාගත්තත් උදේ 6.30 වෙද්දී ඇහැරෙනවා පුරුද්දක් විදිහට. සතියේ දවස් හයක් පැය 12ක් ගත කරන්නේ පිට්ටනියේ තමයි. නිදහසේ ඉන්න ආසයි, නමුත් ජාතික කණ්ඩායමේ රැදිලා ඉන්න නම් දක්ෂතා දක්වන්න ඕන. ඒකට කැපවෙන්න ඕන. මම මේ කාලයේ හිතන්නේ මහන්සි වෙලා මගේ දක්ෂතා ඔපමට්ටම් කරගන්න එක ගැන තමයි. ඒ නිසා විවේකයක් නැහැ කියලා පසුතැවීමක් නැහැ.
මේ දවස්වල පවතින අධික රස්නය සහිත දේශගුණය එක්ක පිටියේ කාලය ගත කරද්දී හිතෙන්නේ නැද්ද මේ වගේ රැකියාවක් නොකර වෙනත් රැකියාවක් කළා නම් හොදයි කියලා..?
මේ දවස්වල අව්ව හරිම රස්නෙයි. ඒත් ප්‍රැක්ටිස් නොකර ඉන්න බැහැනේ. මේක මගේ වෘත්තිය. පැය ගාණක් අවුවේ ඉදලා ගෙදර යද්දී කළුම කළුයි. ගෙදර අයත් මාව දැකලා මට විහිළු කරනවා. නමුත් ඔය දේවල් එක්ක කිසිම විදිහකින් මම පසුතැවෙන්නේ නැහැ මම ක්‍රීඩකයෙක් වීම ගැන.
ඔබේ වයස දැන් අවුරුදු 28යි. ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙන්න ප්‍රමාද වුණා කියලා හිතෙන්නේ නැද්ද..?
අවුරුදු 9ක විතර ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදයට නොයෙක් හේතු තියෙන්න ඇති. ඒ ප්‍රමාදයට හේතුව මගේ දක්ෂතාවයේ අඩුවක් නම් නෙමෙයි. මම ඒ වෙද්දී දක්ෂතා අතරේ හිටියේ. කොහොම නමුත් අවස්ථාවක් ප්‍රමාද වෙලා හරි ලැබුණු එක ගැන මට ලොකු සතුටක් තියෙනවා.
දක්ෂතා අතරේ ඉදලත් එවැනි අවස්ථාවක් ලබාගන්න වර්ෂ ගණනාවක් බලාගෙන ඉද්දි ඔබ මානසිකව වැටුණේ නැද්ද, අවස්ථාවක් නොලැබෙයි කියලා හිත ගස්සුනේ නැද්ද කියලත් මතක් කරමු..?
මම හරියට දෙවියන් විශ්වාස කරනවා. අවස්ථාවක් නොලැබුණු කාලේ මම පල්ලියට ගිහින් යාඥා කළා. කොයි මොහොතක හරි මට අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසයෙන් මම ජිවත් වුණේ. මානසිකව වැටුණේ නැහැ කියන්න බැහැ. දුකක් තිබුණා. නමුත් හිත ශක්තිමත්ව ප්‍රශ්නවලට මුහුණ දීලා අවස්ථාවක් ලැබෙනතුරු දක්ෂතා අතරේ ඉන්න වගබලා ගත්තා.
ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඔබට අවස්ථාව හිමි වූ මොහොතේ මොකද හිතුණේ..?
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ජාතික කණ්ඩායමට ඇතුලත් වෙලා ක්‍රීඩා කරන එක. ඒ අවස්ථාව මට හිමි වීම ගැන සතුටු වුනා. පකිස්ථාන තරගාවලියට යවන්න කලින් සාකච්ඡාවක් තිබ්බා. එතැන ක්‍රීඩකයින් 30ක් හිටියා. ඒ මොහොතේ ඇහුවා පකිස්ථාන සංචාරයට යන්න කැමති කවුද කියලා. ක්‍රීඩකයින් 13ක් අකමැති වුනා ඒ සංචාරයට සම්බන්ධ වෙන්න. කැමති පිරිස අතරට මමත් එකතු වුනා. ක්‍රීඩකයින් 17ක් කැමති වුනු නිසා එක්දින හා පන්දු වාර විස්සයි විස්ස තරග සදහා සංචිතය නම් කළා. ඒ මොහොතේ මට හිතුණා මාවත් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙයි. තරග සදහා මටත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අවස්ථාව ලැබුණා. ක්‍රීඩකයින් 13ක් අකමැති වුනු නිසා මට අවස්ථාව ලැබෙන්න ඇති. මම ඒ සදහා කැමති වුනේ මේ මට ලැබුණු හොදම අවස්ථාව කියලා හිතලයි. ඒ අවස්ථාව එදා මම මගහැරගත්තා නම් තවම මට අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තිබුනා.
ඒ සුබ ආරංචිය මුලින්ම කිව්වේ කාටද..?
පකිස්ථාන සංචාරයට මම ඇතුළුව 17ක් කැමති වූ මොහොතේම මම ගෙදරට කතා කරලා කිව්වා මට ජාතික කණ්ඩායමට ඇතුලත් වෙන්න ලැබෙයි. මේ පාර නම් මට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනකොට මම ක්ලබ් මැච්වලත් රෙකෝඩ් 4ක් තියලා තිබ්බේ.
ක්‍රීඩකයින් 13ක් අකමැති වූ පකිස්ථාන සංචාරය සදහා ඔබ සුදානම් වෙද්දී ගෙදරින් හා ඔබේ පෙම්වතියගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි වගේද..?
මගේ පෙම්වතිය සැන්ඩ්‍රින් පෙරේරා. එයා ගුවන් සේවිකාවක්. අපි දෙන්නා අවුරුදු තුනක් ආදරේ කරනවා. එයා වගේම මගේ මල්ලි අම්මා තාත්තා ටිකක් අකමැති වුනා ඒ ගමනට. මම ඒ අයට පැහැදිලි කරලා දුන්නා මට ලැබුණු අවස්ථාව මගහරවා ගන්න බැහැ කියන එක හා පකිස්ථානයේ අපට ලැබෙන ආරක්ෂාව ගැන. පැහැදිලි කරලා දුන්නට පස්සේ යන්න කිව්වා. නමුත් හිතේ බයෙන් ඉන්න ඇති.
ඒ සංචාරය නිසා ඔබ සමාජ මාධ්‍යවලත් කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වුනා නේද..?
ඔව්. මම මට ලැබුණු තරගවලින් උපරිම ප්‍රයෝජන අරගෙන ලකුණු රැස් කළා. ඊට පස්සෙත් මම තරග 12ට පමණ සම්බන්ධ වුනා. ඒ හැම අවස්ථාවකම සමාජ මාධ්‍යවලින් හොද ප්‍රතිචාර ලැබුණා. ඒවා දකිනකොට ඇත්තටම සතුටක් දැනෙනවා. ඒ වගේම මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කරන්න. ඒකත් මගේ හීනයක්.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට මුල පුරන්නේ පාසලෙන්. කවදා හරි ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන්න හීන දැක්කද..?
මම ඉගෙන ගත්තේ කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ක්‍රිකට් ක්‍රීඩා කරන්න කලින් මම පිහිනුම් හා ස්කොච් ක්‍රීඩා කළා. පසුව ඒ ක්‍රීඩා දෙකෙන්ම ඉවත් වෙලා ක්‍රිකට් තෝරා ගත්තා. මම පාසල් 12 පහළ සිට 17 පහල දක්වා ක්‍රීඩා කළා. මම ලකුණු 4500ක් පාසලේ තැබූ වාර්තා තවම කාටවත් කඩන්න බැරි වුනා. ඒ වගේම කියන්න ඕන මගේ පළමු පුහුණුකරු වුනේ වෑන් සිල්වා සර් කියන එක. පසුව දේවරාජ් සර්, ගාමිණි පෙරේරා සර් හා චුලක අමරසිංහ සර් යටතේ පුහුණුවීම් කරමින් ක්‍රීඩා කළා. ඒ වගේම 19 පහල ජාතික කණ්ඩායම රොජර් විජේසුරිය සර් යටතේ හා නවීන් නවාස් සර් යටතේ පුහුණු වෙමින් ක්‍රීඩා කළා. ඒ ටීම් වගේම එස් එස් සී කණ්ඩායමට එකතු වෙලා සෙල්ලම් කළා. මේ දේවල් එක්ක තමයි මම කවදා හරි ජාතික මට්ටමේ ක්‍රීඩා කරනවා කියලා හිතුවේ. ඒ කාලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන විදිහ ටීවී එකේ දැක්කම මටත් ක්‍රීඩා කරන්න ඉබේටම ආසාවක් ආවා.
ඇතැම් පිරිස කියනවා බහුතරයක් ක්‍රිකට් තෝරා ගන්නේ සල්ලි හොයන්න කියලා. ඔබ වෘත්තිය මට්ටමින් ක්‍රීඩා කරන්නේ..?
සල්ලි හොයන්න මම ක්‍රිකට් තෝරා ගත්තා නම් ජාතික කණ්ඩායමට එකතු වෙන්න අවුරුදු 10ක් විතර බලාගෙන ඉන්නේ නැහැ. අපිට ගෙවන්නේ අයි සී සී එකෙන්. හොදට ක්‍රීඩා කළොත් කොහොමත් අපිට මුදල් ලැබෙනවා. අපි කරන කැපකිරීම දකින අය කවදාවත් එහෙම හිතන එකක් නැහැ. ජාතික මට්ටමින් ක්‍රීඩා කරන්න ඇත්තටම කිව්වොත් මාර කට්ටක් කන්නේ. නිදහස නැති වෙනවා. යාළුවෝ ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. ආසාවෙන් කෑම ටිකක් කන්න නැහැ. මොකද පිටි, තෙල් කෑම කන්න බැරි නිසා. අපේ ජිවිතේ හොදම කාලේ අපි කැප කරනවා ආසාව වෙනුවෙන්. ආසාවක් තියෙන නිසා තමයි මම නම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. එහෙම ආසාවක් නැත්තම් කවදාවත් කැපවීමක් කරන්න ලැබෙන්නේ නැහැ.