ගොඩක් අය හිතන්නේ වයස 20 ගණන්වලදී එයාලා උපරිම දක්ෂයි කියලා. ඒත් විද්‍යාව කියන්නේ වෙනම කතාවක්. අපේ මොළය වඩාත් හොඳින්ම ක්‍රියා කරන්නේ හා නිර්මාණශීලී වෙන්නේ වයස 30 ගණන්වල මුල් භාගයේ කියලා සොයාගෙන තිබෙනවා. ඉතින් ඔයා තාම 20 ගණන්වල නම්, කලබල වෙන්න එපා. ඔයාගේ හොඳම කාලය ඉස්සරහට තමයි තියෙන්නේ.
පුද්ගලයන් 4,000 කගේ මොළයේ ස්කෑන් පරීක්ෂා කරලා ආචාර්ය ඇලෙක්සා මවුස්ලි ඇතුළු කණ්ඩායම සොයාගත්තු මේ අපූරු මොළයේ රහස් 5 ගැන දැනගත්තොත්, ඔයා අද ඉඳන් ඔයා දිහා බලන විදිහත් අනිවාර්යයෙන් වෙනස් වේවි.
අපේ ජීවිත කාලය ඇතුළත මොළය ප්‍රධාන අවධි 5 ක් පසු කරනවා. බලන්නකෝ ඔයා ඉන්නේ මෙතනින් කොතනද කියලා.
අවුරුදු 9 වෙනකල් ඔයාගෙ මොළය හරිම අකාර්යක්ෂමයි. හරියට පාරක් තොටක් නොදන්න ළමයෙක් උද්‍යානයක ඉබාගාතේ දුවනවා වගේ. කෙලින් වැඩක් කරන්න මොළය තාම පුරුදු වෙලා නැහැ.
අවුරුදු 9 සිට 32 දක්වා කාලයේදී ඔයාගේ මොළය අනවශ්‍ය සම්බන්ධතා සියල්ල ඉවත්කරලා හරිම වේගවත් වෙනවා. හැබැයි පරිස්සමෙන්, මානසික පීඩනයන් එන්න වැඩිම ඉඩක් තියෙන්නෙත් මේ කාලයේදීම තමයි.
අවුරුදු 32 සිට 66 දක්වා කාලය තමයි ඔයාගෙ ජීවිතේ ස්ථාවරම කාල පරිච්ඡේදය. ඔයාගේ පෞරුෂය සහ බුද්ධිය ලොකු වෙනසක් නොවී දශක තුනක් විතර උපරිම මට්ටමක පවතිනවා.
අවුරුදු 66 සිට 83 දක්වා ඔයාගේ මොළය පොඩි ගේම් එකක් ගහනවා. ඒ තමයි මුළු මොළයම එකට වැඩ කරනවා වෙනුවට කොටස්වලට බෙදිලා ඒ ඒ වැඩ විතරක් කරන්න පටන් ගන්නවා.
අවුරුදු 83න් පස්සේ මේක තමයි අවසාන අදියර. මෙතනදී ඔයාගේ මොළයේ සෛල අතර වෙනස්කම් ගොඩක් වේගවත් වෙනවා.
හැබැයි මතක තියාගන්න, හැමෝම මේ වයස් සීමාවලටම අහුවෙන්නේ නැහැ. සමහරුන්ට මේ වෙනස්කම් කලින් එන්නත් පුළුවන්, පස්සේ එන්නත් පුළුවන්. කොහොම වුණත්, ඩිමෙන්ශියාව වගේ රෝග ගැන තේරුම් ගන්න මේ සොයාගැනීම ලොකු උදව්වක් වෙයි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.
ඉතින් අවුරුදු තිස් දෙක ලබනකල් අපි හැමෝම නව යෞවනයො කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.