ලෝකයටම බලපෑම් එල්ල කරමින් මේ දිනවල පවතින එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති පසුබිමක මත්පැන් සහ පැණිබීම පානය කිරීම මිනිස් සිරුරට ඉතා අහිතකර බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.
එමගින් තාප ආඝාතය (Heat Stroke) ඇතිවී මරණය පවා සිදුවිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සෞඛ්‍ය ඒකකය අනතුරු අඟවා සිටින අතර, මේ දිනවල පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් මත්පැන් පානය කිරීමෙන් සිරුර වේගයෙන් විජලනය වී විවිධ සෞඛ්‍ය සංකූලතා මතුවිය හැකි බව එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර පවසන්නේ.
ඉදිරි දින කිහිපය තුළදී මෙම උණුසුම්කාරී කාලගුණ තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවටද ඇය පෙන්වා දෙනවා.
විජලනය වළක්වා ගැනීමට සුදුසු පාන වර්ග සිරුර විජලනයට ලක් නොවී සුරක්ෂිතව තබාගැනීම සඳහා පහත දෑ වැඩිපුර භාවිත කරන ලෙස වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පිරිසුදු පානීය ජලය, තැඹිලි සහ කුරුම්බා, කොමඩු වැනි දියරමය පලතුරු ඊට වඩා සුදුසුවන අතර, අව් රශ්මියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත්, වායුගෝලයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලය තුළ සෘජුව අව් රශ්මියට නිරාවරණය නොවී සිටීමටත්, සුදුසු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් කටයුතු කළ යුතුයි.