එය 'Game of Thrones' හි ඇය නිරූපණය කළ 'ඩැනේරිස් ටාගේරියන්' චරිතය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් පිදූ තවත් එක සම්මානයක් ලෙසයි.
කෙසේ වෙතත්, ඇයට ලැබුණු MBE (Member of the Order of the British Empire) රාජකීය පදක්කම රංගනයට හෝ සිනමාවට කළ දායකත්වයට වඩා එහා ගිය, අතිශය සංවේදී මෙන්ම මානුෂීය සමාජ මෙහෙවරක් වෙනුවෙන් හිමි වූවක්.
මෙම අභියෝගාත්මක කතාව ආරම්භ වන්නේ 2011 වසරේදී Game of Thrones පළමු සීසන් එක රූගත කර අවසන් වූ අලුතමයි.
ලන්ඩනයේ ජිම් එකක ව්‍යායාම කරමින් සිටියදී ඇයට එකපාරටම දරාගන්නට නොහැකි අයුරින් මොළයේ රුධිර නාලිකාවක දෝෂයක් (Subarachnoid hemorrhage) හටගත් අතර, එවිට ඇගේ වයස අවුරුදු 24ක්.
වෛද්‍ය විද්‍යාත්මක සංඛ්‍යාලේඛනවලට අනුව මෙවැනි රෝගීන්ගෙන් තුනෙන් එකක් රෝහලට ළඟාවීමටත් පෙර මියගියද, ඇය එයින් දිවි බේරාගැනීමට සමත් වුණා.
සැත්කමෙන් පසු තමන්ගේ නම පවා මතක් කරගැනීමට නොහැකි වන 'Aphasia' තත්ත්වයට මුහුණ දුන් ඇය, පුදුමාකාර මානසික ශක්තියකින් සති කිහිපයකින් නැවතත් කැමරාව ඉදිරියට පැමිණ තිබෙනවා.
පසුව 2013 වසරේදී නැවතත් මෙම තත්ත්වය මතු වූ අතර, එහිදී ඇගේ හිස්කබල විවෘත කර හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වූ අතර අදටත් ඇගේ හිස තුළ ටයිටේනියම් ආධාරක සවිකර තිබෙනවා.
මෙවැනි බරපතල රෝගී තත්ත්වයකින් පසු ක්ෂණික ප්‍රතිකාර මගින් ජීවිතය බේරුණද, සාමාන්‍ය සමාජයට පැමිණි පසු මුහුණදීමට සිදුවන මානසික පීඩනය සහ දීර්ඝකාලීන පුනරුත්ථාපන (Rehabilitation) පහසුකම් ලෝකයේ කොහේවත් නිසියාකාරව නොමැති බව තේරුම් ගත් එමිලියා, 2019 වසරේදී සිය මව වන ජෙනී සමග එකතු වී 'SameYou' නමැති පුණ්‍යායතනය ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සමග එකතු වී ස්නායු ආබාධ සහිත රෝගීන්ට අවශ්‍ය මානසික ශක්තිය සහ සායනික ප්‍රතිකාර දියුණු කිරීමට කැපවූ ඇයගේ මෙම අසමසම සමාජ මෙහෙවර උදෙසා 2024 පෙබරවාරි මාසයේදී වින්ඩ්සර් මාලිගයේදී එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමාරයා අතින් එමිලියා ක්ලාක් සහ ඇගේ මව වෙත MBE ගෞරව නාමය පිරිනමා තිබෙනවා.
තමන් වැටුණු අගාධයෙන්ම තවත් කෙනෙකුට නැගිටින්නට පාර හැදූ ඇය, තිරයෙන් එහා සිටින සැබෑම වීරවරියක්.
