හැබැයි මේක නම් ඇත්ත කතාවක්. උපතින්ම ආපු ඩ්වෝෆිසම් (Dwarfism) කියන ජානමය තත්ත්වය නිසා අත් පා කොට වී සාමාන්‍ය විදිහට සිරුර නොවැඩුණු ඉන්දියාවේ ගුජරාටයේ ඉපදුණු ගනේෂ් බාරයියා කියන තරුණයා තමයි අද මුළු ලෝකයම කතාබහ කරන ඒ අභිමානවත් වෛද්‍යවරයෙක් බවට පත්වී හමාරයි.
කුඩා කාලයේදී ගමේ ආපු සර්කස් කණ්ඩායමක් මේ දරුවාව සර්කස් එකට විකුණන්න කියලා එයාගේ තාත්තට ඉන්දියන් රුපියල් ලක්ෂ පහක ලොකු මුදලක් පිරිනමා තිබුණත්, දරුවෝ නම දෙනෙක් හිටපු ඒ දුප්පත් ගොවි තාත්තා සල්ලි වෙනුවට තෝරාගත්තේ පුතාගේ අධ්‍යාපනයයි.
සල්ලිවලට තමන්ගේ දරුවාව සෙල්ලම් බඩුවක් නොකළ ඒ තාත්තාගේත්, තමන්ගේ නොපසුබස්නා උත්සාහයේත් ප්‍රතිඵලයක් ලෙස 2018 දී ඉන්දියාවේ පැවැත්වෙන අතිශය තරඟකාරී NEET වෛද්‍ය ප්‍රවේශ විභාගය ඉහළින්ම සමත් වීමට ගනේෂ් සමත් වුණා.
කෙසේ වෙතත්, ඉන්පසුව ඔහුට මුහුණ දීමට සිදු වූයේ සැබෑ අභියෝගයටයි. හදිසි අනතුරකදී ලෙඩෙක්ව බේරගන්න මේ උස මදියි කියමින් ඉන්දියානු වෛද්‍ය කවුන්සිලය (MCI) ඔහුව වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළා.
නමුත් තමන්ගේ හීනය අතනෑරපු ගනේෂ්, විදුහල්පතිතුමා ඇතුළු පිරිසගේ සහයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම නීතිමය සටනක් ගෙනගියා.
එහිදී ආබාධිත අයිතිවාසිකම් පනත (RPwD Act) අවධානයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුවත් සමග ඔහුව වහාම භාව්නගර් මෙඩිකල් කොලේජ් එකට ඇතුළත් කරගැනීමට නියෝග කෙරුණා.
අන් අයට වඩා උසින් අඩු නිසා සෑම විටම පුංචි ස්ටූල් එකක් උඩ නැගලා ලෙඩ්ඩු බලමින්, කැපවීමෙන් ඉගෙනගත් ඔහු අද වන විට MBBS සාර්ථකව අවසන් කරපු රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්.
ජීවිතයේ අඩුපාඩු අල්ලගෙන දුක් වෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ සීමාවන් බිඳදමා ජයග්‍රහණය කරා යන ආකාරය පෙන්වා දුන් ගනේෂ්ගේ කතාව සැබවින්ම අපූරු ආදර්ශයක්.