හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්න ගුවන් සේවයේ අය ඉඩ දීලා තිබුණේ නෑ. World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණය කරලා ලංකාවට ආපු රුමේෂ්ට මුහුණ දෙන්න වුණේ කාගෙත් ඇස්වලට කඳුළක් ගේන අවාසනාවන්ත සිදුවීමකටයි.
රුමේෂ් ලංකාවට එද්දී ගුවන් මගින් ගෙනාපු ඔහුට අයිති හෙල්ල 05 ක්ම සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගිහින්. මේවා නිකම්ම නිකම් යකඩ කූරු නෙවෙයි. හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09 ක් විසි කරපු හෙල්ලය වගේම, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07 ක දැවැන්ත දුරක් විසි කරලා ලෝක වාර්තා තියපු හෙල්ලයත් මේ කැඩුණු 5 අතර තියෙනවා කියන එක තමයි ගොඩක්ම සංවේදී කාරණාව.
රුමේෂ් සැලසුම් කරගෙන ඉඳලා තියෙන්නේ මේ වසරේ තියෙන ආසියානු ශූරතා තරගාවලියට, 2027 ලෝක ශූරතා තරගාවලියට වගේම 2028 ඔලිම්පික් තරගාවලියටත් මේ හෙල්ල ටිකම පාවිච්චි කරන්නයි. ඒ විතරක් නෙවෙයි, ඉන් පස්සේ මේවා තමන්ගේ ජීවිතේ වටිනාම සිහිවටන විදිහට ළඟ තියාගන්නත් ඔහු හීන දැකලා තිබුණා. හැබැයි තුර්කි ගුවන් සේවයේ නොසැලකිල්ල නිසා දැන් ඒ හැමදේම වතුරේ ගිහින්.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග කටුනායක ගුවන් තොටුපොළේදී තුර්කි ගුවන් සේවයට (Turkish Airlines) එරෙහිව නිල වශයෙන් පැමිණිල්ලක් කරන්නත් කටයුතු කරලා තියෙනවා.