සිනහවෙන්, කෙළිදෙලෙන් කාලය ගත කරන්න ඕන වයසේ ඉන්න දහසක් දරුවන්ට පිළිකාව කියන බිහිසුණු රෝගය අභියෝගයක් වෙලා තියෙන හැටි ගැන මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අනාවරණය වෙලා තියෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා හෙළිදරව් කළේ කිසිවකුත් නොසිතන තරම් බරපතළ සංඛ්‍යාලේඛනයක්. උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල පසුවන මෙරට දරුවන් අතරින් වසරකට 900ත් 1,000ත් අතර පිරිසක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගන්නා බවයි ඔහු අවධාරණය කළේ. ඒ කියන්නේ දවසකට දරුවන් දෙතුන් දෙනෙක් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙනවා කියන කටුක ඇත්තයි.
විශේෂයෙන්ම දරුවන් අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ලියුකේමියාව හෙවත් රුධිර පිළිකා තත්ත්වයන් බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. ඊට අමතරව වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, මොළයේ පිළිකා, අස්ථි පිළිකා සහ ඇස් ආශ්‍රිත පිළිකා රෝගීන් වැඩි වශයෙන් හමුවන බවත් සඳහන්. කුඩා අවදියේදීම ඇතිවන නොයෙකුත් රෝග ලක්ෂණ ගැන දෙමාපියන් මීට වඩා විමසිලිමත් වීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
කැස්සක්, උණක් හැදුනත් පපුව හෝස් ගාලා පත්තු වෙන අපේ අම්මලා තාත්තලාට මේ ආරංචිය නම් ලොකු කම්පනයක්. තමන්ගේ දරුවාගේ ශරීරයේ සිදුවන සුළු හෝ වෙනස්කමක්, අසාමාන්‍ය රෝග ලක්ෂණයක් දුටුවහොත් නොපමාව නිසි වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවීමේ වැදගත්කම මේ අනාවරණයත් සමඟ මුළු රටටම මතක් කර දෙන්නේ දැඩි සංවේගයක් එක්කයි.