අදාළ නිවස දෙසින් දැඩි දුගඳක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මොරගහේන පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 27, විකසිත උයන, කරගහදෙනිය, කුඩා උඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ නිර්මලා ප්‍රසාදි ඒකනායක නමැති කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව මීට පෙර මරදාන ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්ව අංශභාග රෝගී තත්ත්වයකට පත්ව සිට ඇති බවයි.
කෙසේ වෙතත්, ඇයව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු නොකර, නිවසේ සිටම විවිධ දේව මෙහෙයන් පවත්වමින් යාඥා බලයෙන් රෝගය සුව කර ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොස් ඇති අතර, ඇය පසුව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙලෙස යාඥා සහ දේව මෙහෙයන් සිදුකරන පිරිසක් බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය විසින් සිරුර සොයා ගන්නා අවස්ථාව වන විටත් ඇය මියගොස් අවම වශයෙන් දින දෙකක්වත් ගතවී ඇති බවටයි සැක කෙරෙන්නේ.
අනතුරුව මෘත ශරීරය හෝමාගම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.