තේ වත්තේ සැරිසරන මේ කඳුකර කොටියාව තමන්ගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරගත් අදාළ වතු කම්කරුවා, ඊයේ (09) ඒ ඡායාරූපයත් අරගෙනම කෙළින්ම බගවන්තලාව පොලීසියට ගිහින් වාචික පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා සඳහන් කළේ, අදාළ කඳුකර කොටියා ගොදුරු සොයාගෙන වතු නිවාස ආසන්නයටම දිනපතා පැමිණෙන බව පැමිණිල්ලේ සටහන් වූ බවයි.
තේ වත්තේ සේවය කරන අහිංසක කම්කරුවන්ට යම් අගතියක් හෝ අනතුරක් සිදුවීමට පෙර, වහාම වනජීවි නිලධාරීන් දැනුවත් කර මේ කඳුකර කොටියාව වත්ත ආසන්නයේ පිහිටි බෝපත්තලාව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන ලෙසයි එම කම්කරුවා පොලීසියෙන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර වහාම ක්රියාත්මක වීමට අවශ්ය පියවර ගත් බවද බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.