හිඟුරක්ගොඩ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ රෝයල් පාක් හෝටලය ආසන්නයේ පිහිටි පාලම අසලදී ඊයේ අලුයම සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මින්නේරිය දෙස සිට හිඟුරක්ගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ උණ බට පඳුරක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ ගිරිතලේ, ට්‍රැක් 03 හි පදිංචිව සිටි මද්දුමගේ දිල්ෂාන් මධුෂාන් නැමැති තරුණයෙකි.
ඔහුගේ හදිසි වියෝවෙන් දැඩි සේ කම්පනයට පත් මිතුරෙකු සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබූ සංවේදී සටහනක මෙසේ සඳහන් විය...
"හරියට උඹට මොකක්ද වුණේ කියලා නම් දන්නෑ මල්ලී... ඒත් උඹ හොඳ එකා. උඹට වුණු දේ දන්නේ උඹ විතරයි. නිවන් සුව මල්ලී, නැවත කිසිදා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා... දැන්වත් මචංලා හෙමින් Bike පැදපල්ලා..."
වේගය සහ ක්ෂණික තෘප්තිය වෙනුවෙන් මහා මාර්ගයේ යතුරුපැදි පදවන තරුණ පරපුරට මේ අනතුර තවත් එක් අනතුරු ඇඟවීමක් පමණක් නොවිය යුතුය. යතුරුපැදියක ත්වරකය (accelerator) තද කරද්දී මතක තබාගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා...
ඔබ පාරට බහින්නේ ගෙදර බලා සිටින අම්මා, තාත්තා, සහෝදරයන් සහ මිතුරන් පිටුපස තබාය. ඔබේ එක තත්පරයක නොසැලකිලිමත්කම මුළු පවුලකම අනාගතය අඳුරු කරයි. මහා මාර්ගය ධාවන තරඟ පත්වන ක්‍රීඩා පිටියක් නොවේ. වේගය පාලනය කරගත නොහැකි වූ සැණින් ජීවිතය සහ මරණය අතර වෙනස තීරණය වන්නේ තත්පර ගණනකින්...