ඇය සිය 92 වැනි උපන්දිනය සමරන්නට තවත් සති දෙකක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදීයි මෙලෙස අප අතරින් වෙන්ව ගොස් තිබෙන්නේ.
දයා නෙල්ලම්පිටිය කියන්නේ නිකම්ම කලාකාරිනියක් නෙවෙයි. ඇය ප්‍රවීණ ජන හා විරිඳු ගායක සේන ෆොන්සේකා මහතාගේ ආදරණීය බිරිඳයි. වසර 55ක් පුරාවට එකට ජීවත් වුණු මේ යුවළ, එකල විරිඳු නොගයන වෙසක් තොරණක් ලංකාවේ තිබුණේ නැති තරම්. 2012 වසරේ අගෝස්තු මාසයේදී සේන ෆොන්සේකා මහතාගේ සමුගැනීමෙන් පසුවත් ඇය කලාවට කළ සේවය අමිලයි. ජනප්‍රිය "නරි බෑණා" වේදිකා නාට්‍යයේ වසර 40ක් පුරාවට පසුබිම් ගායනයෙන් දායක වුණු ඇය, "ගජමන් පුවත", "පද්මාවතී" සහ "ජසයා සහ ලෙංචිනා" වැනි නාට්‍යවලත් සිය හඬ අවදි කළා. ඒ වගේම ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ "ගිනි කුකුළයි ගිනි කිකිළියි අන්දර අත්තේ" කියන අතිශය ජනප්‍රිය ගීතයත් මේ යුවළගේ ගායනයක්. ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී ගායිකාවක ලෙසත් ඇය විශාල මෙහෙවරක් ඉටු කළා.
කලාවෙන් පිරුණු මේ පවුලේ දරුවොත් අද වෙද්දී කලා ක්ෂේත්‍රයේ දිදුලන තරු. "නොවෙනස්ව එනවද" ගීතයෙන් අතිශය ජනප්‍රිය වුණු චන්දන ෆොන්සේකා ඇගේ පුත්‍රයෙක්. ගුවන්විදුලි "A" ශ්‍රේණියේ ගායිකාවක වන පමුදිතා වගේම තවත් පුතෙකු වන නන්දිත ද ඇගේ දරුවන් වෙනවා.
මේ දරුවන්ගේ දරුවනුත් (චමත්කා, අනූප, පුදම්, චමත් සහ දිමත්) අද වෙද්දී කලාවට සම්බන්ධ වීම විශේෂත්වයක්.
මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම කලාකාරිනියක වන දයා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය මේ වනවිට ඇය පදිංචිව සිටි කළුබෝවිල, රත්නාවලී පාරේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඇයගේ අවසන් කටයුතු එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා සවස 6.00 ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
දශක ගණනාවක් අපේ රටේ ජන කලාව සහ නාට්‍ය කලාව පෝෂණය කළ ඒ ආදරණීය කලාකාරිනියට අමා මහ නිවන් සුව අත්වේවා!




