එම දරුවාගේ භාරකාරත්වය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට හදිසි අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සංවේදී සිදුවීමට මුහුණ දී ඇත්තේ මැකේනා වෙස්ට් නමැති ආදේශක මවයි.
ඇය කැලිෆෝනියාවේ පදිංචි ඕමාර් අහමඩ් සහ නෞෂීන් ගිල්කාර් යන යුවළ වෙනුවෙන් දරුවෙකු පිළිසිඳ ගෙන සිට තිබෙනවා. නමුත් කලලයට දරුණු ගණයේ හෘද දෝෂයක් ඇති බව සති 20දී කළ ස්කෑන් පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඉන්පසුව දරුවා නැති කරන ලෙස එම යුවළ වෙස්ට්ගෙන් ඉල්ලා තිබෙනවා.
නමුත් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ ඇය, ටෙක්සාස් ප්‍රාන්තයට පලා ගොස් මෙම දරුවාට උපත ලබා දීමට කටයුතු කළා. "හයිපොප්ලාස්ටික් වම් හෘද සින්ඩ්‍රෝමය" නම් තත්ත්වයෙන් පෙළෙන මෙම කුඩා පිරිමි දරුවාට ජීවත් වීම සඳහා ඉදිරියේදී සැත්කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වෛද්‍යවරුන් පවසනවා.
කෙසේ වෙතත්, කැලිෆෝනියා අධිකරණයක් මගින් මීට පෙර දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ට භාරකාරත්වය ලබා දී ඇති අතර, ටෙක්සාස් අධිකරණයක් මගින් ආදේශක මවට දරුවා බැලීම පවා වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මේ වන විට, කලින් දරුවා නැති කිරීමට උත්සාහ කළ දෙමව්පියන්ට භාරකාරත්වය හිමි වුවහොත්, ඔවුන් දරුවාට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙනු ඇතැයි තමන් දැඩි සේ කනස්සල්ලට පත්ව සිටින බව වෙස්ට් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා තිබෙනවා.
මේ අතර, වෙස්ට් තමන්ට නොකියා ටෙක්සාස් වෙත ගොස් දරුවාගේ වෛද්‍ය තොරතුරු වෙත තමන්ට ඇති ප්‍රවේශය අවහිර කළ බවත්, මෙම දරුවා තම ජීවිතයේ ආදරය බවත් අදාළ යුවළ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අසාධ්‍ය දරුවාගේ භාරකාරත්වය සම්බන්ධයෙන් මේ වන විට ඇමෙරිකාව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.