පුත්තලම නගරයට ඉහළින් අහසේ පෙරේදා අලුයම කාලයේ දිස්වුණ දීප්තිමත් වස්තුවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි කලබලයක් හටගෙන ඇති අතර, එය දැකබලා ගැනීම සඳහා ජනතාව තම නිවෙස්වලින් පිටතට පැමිණ ඇති බවට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරනවා.
එසේම කිහිප දෙනෙකුටම එහි ඡායාරූප ගැනීමටද හැකි වී ඇති බව එහි සඳහන්.
මෙම අද්භූත වස්තුව අඩි කිහිපයක් දිගින් යුක්ත වූ බවත්, රොකට්ටුවක හෝ මිසයිලයක මෙන් ගිනිමය වලිගයක් (tail of fire) ඊට තිබූ බවත්, ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.
ගුවන් යානයකට වඩා වේගයෙන්, අඩි 300ක පමණ උසකින් පියාසර කළ එය, පියවි ඇසට පෙනෙන මානයෙන් ඔබ්බට පුත්තලම කලපුව දෙසින් ඈත අහසට ගොස් නොපෙනී ගිය බවයි ඔවුන් සඳහන් කර ඇති බවයි එම පුවත්පත සඳහන් කරන්නේ.
මේ අතර, අනතුරක් සිදුවිය හැකි යැයි බියෙන් කලබල වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවී ඇති බවට ද වාර්තා වෙනවා.
මෙම අද්භූත සංසිද්ධිය පිළිබඳව ජනතාව අතර විවිධ මත පවතින නමුත්, ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවත්, මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ලැබෙනු ඇතැයි ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වන බවත්, එම පුවත්පත සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කර ඇත්තේ, මෙම වස්තුව උල්කාපාතයක් (meteorite) විය හැකි බවයි.
"එයට ගිනිමය වලිගයක් තිබුනේ නම්, එම වස්තුව උල්කාපාතයක් විය හැකියි. වසරේ ඕනෑම කාලයක රාත්‍රී කාලයේදී උල්කාපාත දර්ශනය විය හැකියි. එබැවින් මෙය උල්කාපාතයක් විය හැකියි," යනුවෙනුයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, ස්ථිර නිගමනයකට පැමිණීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළ බවයි එම පුවත්පත සඳහන් කර තිබෙන්නේ.