මේ වගේ හිතාගන්නවත් බැරි, හරියට චිත්‍රපටියක වගේ සිදුවීමක් ඇත්තටම අපේ රටෙන්ම වාර්තා වෙලා තියෙනවා. ඒ කොකාවැව පොලිස් වසමෙන්.
මේ කතාවේ හැටියට අදාළ පුද්ගලයා මීට මාස දෙකකට කලින් හදිසියේම ගෙදරින් අතුරුදන් වෙලා තියෙනවා. කොහොමත් මෙයාට දවස් දෙක තුනක් ගෙදරින් පිටවෙලා ඉඳලා ආයෙත් එන පුරුද්දක් තිබුණු නිසා මුලින්ම පවුලේ අය මේ ගැන එච්චර කලබල වෙලා නැහැ. හැබැයි සතියකට වඩා කාලයක් ගතවෙලත් කිසිම ආරංචියක් නැති නිසා අන්තිමේදී බිරිඳ කොකාවැව පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා.
ඔහොම ඉද්දි අගෝස්තු 27 වෙනිදා පොලිසියෙන් පණිවුඩයක් එනවා, හබරණ රක්ෂිතයක තිබිලා වස බීලා මියගිය කෙනෙක්ගේ මළසිරුරක් හම්බවුණා කියලා. මේ පණිවුඩේට අනුව බිරිඳ ඇතුළු ඥාතීන් ගිහින් සිරුර පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒ වෙලාවේ මළසිරුරේ තිබුණු ඇඳුම්, අලුත් අවුරුද්දට පුතා තාත්තාට අරන් දුන්න ඇඳුම්වලට සමාන නිසා හැමෝම තහවුරු කරගෙන තියෙන්නේ මේ තමන්ගේ සැමියාගේම සිරුර තමයි කියලා.
ඉතින් දුකෙන් වුණත් අගෝස්තු 31 වෙනිදා පොළොන්නරුව ප්‍රදේශයේදී මළසිරුරේ භූමදාන කටයුතු සිදු කරලා, ආගමික වතාවත්වලට අනුව සැප්තැම්බර් 06 සහ 07 දිනවල සාංඝික දානමය පින්කම් පවා පවුලේ අය විසින් ඉතාම ගෞරවයෙන් සිදුකරලා තියෙනවා.
හැමෝම මේ සිදුවීම අමතක කරගෙන යද්දී, මියගියා යැයි විශ්වාස කළ පුද්ගලයා එකපාරටම බස් රථයකින් ඇවිත් තමන්ගේ නැගණියගේ නිවසට ගොඩවෙලා තියෙනවා! මළගෙයක් අරන් දානෙත් දීපු සහෝදරයා පණපිටින් ආවාම අර මිනිස්සු කොච්චර නම් බයවෙන්න ඇද්ද?
වහාම ක්‍රියාත්මක වුණු පවුලේ අය, මේ පුද්ගලයා ගැන කොකාවැව පොලිසියට දැනුම් දීලා තියෙනවා. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ එහෙනම් පවුලේ අය අඬා වැලපිලා, භූමදානය කරලා දානමාන දුන්නේ කාගේ මළසිරුරකටද කියන එකයි. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා කියලයි ආරංචි වෙන්නේ.