දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද දිනයේ මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා.
විශේෂයෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ සැලකිය යුතු තද වැසි ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් දවස පුරා විටින් විට වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින අතර, වයඹ පළාතටද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
හවස 1.00න් පස්සේ අහස පෙරළෙයි!
උදෑසන කාලයේ සාමාන්‍ය කාලගුණයක් තිබුණත්, පස්වරු 1.00 න් පසුව තත්ත්වය මුළුමනින්ම වෙනස් විය හැකි බවයි වාර්තා වන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත ප්‍රබල වැසි ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා.
වැස්සත් එක්කම හිටිහැටියේ හමා එන තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා, ගස් යට නොසිටීම, අනාරක්ෂිත විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම ඇතුළු ආරක්ෂිත පියවර කල්තියා ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
එනිසා අද දවසේ ගෙදරින් එළියට බහිනවා නම් කුඩයක් හෝ වැහි කබායක් අතැතිවම සූදානම් වී පිටත්වීම තමයි වඩාත්ම නුවණට හුරු!