මේ විදිහේ බරපතළ සැකයක් මතුකරන ආන්දෝලනාත්මක කතාවක් ඩයනාගේ සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් විසින් මාධ්‍යයට හෙළි කරලා තියෙනවා.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඔහුගේ අලුත්ම පොතේ කොටස් කිහිපයක් 'Daily Mail' පුවත්පතට ලබාදෙමින් ස්පෙන්සර් කියන්නේ, ඩයනාගේ මරණය ගැන ආරංචි වුණු ගමන් චාල්ස් එක්ක දුරකථනයෙන් කතා කරද්දී, අනිත් හැමෝම කම්පනයෙන් අඬද්දී චාල්ස්ගේ කටහඬේ පුදුමාකාර උද්‍යෝගයක් තිබුණු බවයි. ස්පෙන්සර්ට අනුව ඒ වෙලාවේ චාල්ස්ගේ හඬ ඇහුණේ හරියට "ලොතරැයියක් දිනපු කෙනෙක්ගේ" කටහඬක් විදිහටලු!
ස්පෙන්සර් සැක කරන්නේ තමන්ට වධයක් වෙලා තිබුණු ප්‍රශ්නයක් ඉවර වුණා කියන එකත්, තමන් ඇත්තටම ආදරය කරපු කාන්තාව (කැමිලා පාකර්) එක්ක නිදහසේ එකතු වෙන්න දැන් පාර කැපුණා කියන සිතුවිල්ලත් චාල්ස්ගේ මේ පළමු ප්‍රතිචාරයට බලපාන්නට ඇති කියලයි.
මතකනේ 1996දී දික්කසාද වෙන්න කලින් ඩයනා BBC එකට කිව්ව කතාව.. "අපේ විවාහය ඇතුළේ තුන්දෙනෙක් හිටියා, ඒ නිසා ඒක ටිකක් තදබද වැඩියි" කියලා ඇය කෙළින්ම කැමිලා ගැන ඉඟි කළා.
කොහොම වුණත් ස්පෙන්සර්ගේ මේ කතාවට බකිංහැම් මාලිගාවෙනුත් ඊයේ (17) උත්තර දීලා තියෙනවා. රජ පවුලේ ප්‍රකාශකයෙක් කියන්නේ "ශෝකය නිසා වසර ගණනාවක් යද්දී පුද්ගලයෙකුගේ මතකය සහ අවබෝධය වෙනස් වෙන්න පුළුවන්" කියලයි. ඒ කියන්නේ ස්පෙන්සර්ට මේක වැරදියට මතක හිටිය දෙයක් කියන එකයි මාළිගාවේ අදහස වෙන්නේ. හැබැයි මේ අලුත්ම චෝදනාව ගැන චාල්ස් රජු නම් පෞද්ගලිකව මුකුත්ම කියලා නැහැ.
මේ පොතේ තියෙන අනිත් කඳුළු හෙළන කතාව තමයි, ඩයනා තමන්ගේ ජීවිතේ අන්තිම කාලේ දැඩි මානසික පීඩනයකින් හිටියා කියන එක. ඇය එංගලන්තයේ දකුණු වෙරළේ තියෙන 'Beachy Head' කියන ප්‍රදේශයට කිහිප වතාවක්ම ගිහින් සියදිවි නසාගන්න පවා සිතුවිලි ආපු බව ස්පෙන්සර් කියනවා. හැබැයි තමන්ගේ පුත්තු දෙන්නා, ඒ කියන්නේ විලියම් සහ හැරී කෙරෙහි තිබුණු ආදරය නිසාම ඇය ඒ තීරණයෙන් පස්සට ගියා කියලා ඔහු සංවේදීව සටහන් කරලා තියෙනවා.
කොහොම වුණත් 1997දී වයස අවුරුදු 36ක්ව තිබියදී පැරිසියේදී සිදුවුණු රිය අනතුරකින් ඩයනා සදහටම සමුගත්තා. ඩයනාගේ මරණයෙන් අවුරුදු 8කට පස්සේ, ඒ කියන්නේ 2005දී චාල්ස් තමන්ගේ පරණ පෙම්වතිය වුණු කැමිලාව නිල වශයෙන් කසාද බැන්දා.