01. අනවශ්‍ය ගමන්වලින් වළකින්න
තද වැසි පවතින අවස්ථාවක හැකි තරම් නිවසේ රැඳී සිටින්න. විශේෂයෙන් ජලයෙන් යටවන මාර්ග, ගංගා ආශ්‍රිත ප්‍රදේශ සහ කඳුකර මාර්ගවල අනවශ්‍ය ගමන්වලින් වළකින්න.
02. ගංවතුර ඇති ප්‍රදේශවලට ඇතුළු නොවන්න
මාර්ගයක ජලය ගලා යන ආකාරය පැහැදිලිව නොපෙනේ නම් එම ස්ථානය හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන්න. වාහනයකින් ගමන් කරන විටද ජලයෙන් යට වූ මාර්ග හරහා ධාවනය කිරීමෙන් වළකින්න.
03. කඳුකර ප්‍රදේශවල විශේෂ අවධානයක්
තද වැසි සමඟ කඳුකර ප්‍රදේශවල නායයෑම් අවදානම ඉහළ යා හැකියි. කඳු බෑවුම් ආසන්නයේ ජීවත් වන පුද්ගලයන් අවට පරිසරයේ වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර, බලධාරීන් ඉවත් වන ලෙස දැනුම් දුනහොත් වහාම ආරක්ෂිත ස්ථානයකට යා යුතුයි.
04. අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විට
අකුණු ගසන අවස්ථාවක විවෘත ස්ථාන, උස ගස් යට සහ ජලය ආසන්නයේ රැඳී සිටීමෙන් වළකින්න. විදුලි උපකරණ භාවිතය අවම කර ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටීම වඩාත් සුදුසුයි.
05. තද සුළං පිළිබඳව සැලකිලිමත් වන්න
ගස් යට, දැන්වීම් පුවරු ආසන්නයේ හෝ පහසුවෙන් කඩා වැටිය හැකි තාවකාලික ඉදිකිරීම් ආසන්නයේ නොසිටින්න. නිවස අවට ඇති ලිහිල් භාණ්ඩ, ටින් තහඩු සහ අනෙකුත් දෑ ආරක්ෂිතව තබන්න.
06. නිවසේ ආරක්ෂාව තහවුරු කරගන්න
වැසි වැඩි වීමට පෙර විදුලි උපකරණ, වැදගත් ලේඛන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න. ජලය නිවසට ඇතුළු වීමේ අවදානමක් තිබේ නම් විදුලි පද්ධතිය පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් වන්න.
07. නිල දැනුම්දීම් පමණක් විශ්වාස කරන්න
අයහපත් කාලගුණ තත්ත්වයකදී සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන තහවුරු නොකළ තොරතුරු වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැනි නිල ආයතන නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන්න.