ඉතින් මේ වැස්සෙ නිමාවක් ගැන තවමත් සුබ ආරංචියක් නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබිලා නෑ. මේ විදිහට එක දිගටම වහින්න ප්‍රධානම හේතුව විදිහට ඔවුන් කියන්නේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙලා තියෙන එකලු. ඉදිරි දවස්වලදී මේක තවත් වර්ධනය වෙන බවයි කාලගුණ අංශ කියන්නේ.
මේ පද්ධතියෙන් කෙළින්ම ලංකාවට බලපෑමක් නැති වුණත්, ඒ පැත්තට ඇදෙන සුළං නිසා අපේ රටේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් මේ විදිහටම වැසි ඇතිවෙනවා.
ඔන්න අද (21) උදේ 7න් ඉවර වුණු පහුගිය පැය 10 ඇතුළත ලංකාවෙන් වැඩිම වැස්ස වාර්තා වෙලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන්. ඒක මිලිමීටර 104ක දැවැන්ත වර්ෂාපතනයක්! ඊට අමතරව කෑගල්ලේ කළුපහනට මිලිමීටර 95.5කුත්, නුවරඑළිය මස්කෙළියට මිලිමීටර 85.5කුත් හැටියට ලොකු වැස්සක් වැටිලා තියෙනවා.
අදත් මිලිමීටර 100 පනින්න වහින පළාත් මෙන්න.බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අදත් මිලිමීටර 100ක පමණ තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි කියන්නේ. උතුරු මැද සහ මන්නාරමටත් වැසි වාර කිහිපයක් එද්දී, ඌව පළාතටයි මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලටයි හවස 2න් පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්නත් ඉඩ තියෙනවාලු.
වැස්ස විතරක් නෙමෙයි, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලටත්, උතුරු-මැද, වයඹ පළාත්වලටත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර 30-40ක විතර සැර හුළඟක් එන්නත් පුළුවන් කියලා කාලගුණයෙන් අනතුරු අඟවනවා.
ඒ නිසා අකුණු අනතුරු සහ තද සුළංවලින් ගස් කඩා වැටීම් වගේ දේවල් වෙන්න පුළුවන් නිසා මේ දවස්වල ගමන් බිමන් යද්දි ටිකක් කල්පනාවෙන් සහ පරිස්සමෙන් වැඩ කරන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලනවා!