ඔහුගේ මේ අවාසනාවන්ත වියෝව ගැන, ඔහු මලියදේව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සමයේ එහි විදුහල්පතිවරයාව සිටි W.M. සමන් ඉන්ද්‍රරත්න මහතා තැබූ අතිශය සංවේදී මුහුණු පොත් සටහනක් මේ වන විට කාගේත් නෙතඟට කඳුළක් එක්කර තිබෙනවා.
"අනේ ජානක.. එදත් මේ වගේම අනතුරකින් ඔයාගේ කකුලක් කැඩුණා. එදා ජීවිතය බේරුණේ අනූනමයෙන්! ඒත් අද? මේක හරියට දෛවයේ සරදමක් වගේ..." කියමින් හිටපු විදුහල්පතිතුමන් තැබූ ඒ දීර්ඝ, හදවතට තදින්ම දැනෙන සටහන පහතින් කියවන්න...
"ආදරණීය ජානක..
මලියදේව විද්‍යාලයේ මා සමග සේවය කරන කාලයේ ඉතා දක්ෂ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වුණා. රාජකාරිය ඉතාම පිළිවෙලට හා අවධානයෙන් යුතුව ඉටු කරමින් තනතුරට ඔබ ආලෝකයක් වුණා. කාගෙත් සිත් දිනා ගනිමින් ඔබ මා වෙත දැක්වූ සහයෝගය මට කිසිදා අමතක කළ නොහැක.
ඒ දවස්වල ඔබ දඹුල්ලේ සිට කුරුණෑගල පැමිණෙන අවස්ථාවක මේ ලෙසටම ඔබගේ කාර් රථය අනතුරකට භාජනය වී ඔබේ කකුලක් කැඩුණා. ජීවිතය පවා බේරුනේ අනූනමයෙන්. එම අනතුරේදිත් ඔබ නිවැරදි බව ඔප්පු වුණා. මුළු පාසලම ඒ පිළිබඳව කනගාටු වෙමින් ඔබ වෙත කරන්නට පුළුවන් සෑම උපකාරයක්ම කළා. ටික කාලයකින් යළිත් ඔබ අමාරුවෙන් හෝ රාජකාරී ආරම්භ කරන්නට, නැවත ඔබේ සේවය දරුවන්ට ලබා දෙන්නට කටයුතු කළා.
අප සෑම කෙනෙකුටම හිමි වෙනස්වීම් තුළ මම මලියදේවයෙන් ගියාට පස්සේ ඔබ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති වශයෙන් වැඩ භාර ගත්තා. වැඩ බාරගෙන මා වෙත දුරකථනයෙන් කතා කළ ඔබ මට කිව්වේ "සර් මං දඹුල්ල ජාතික පාසලේ වැඩ භාර ගත්තා. සර්ගෙන් ඉගෙන ගත්ත බොහෝ දේවල් මං මේ විද්‍යාලයේ කරන්න බලාපොරොත්තු වෙනවා" කියලා. "ඔබ මගෙන් ඉගෙන ගත්ත දේ ටිකයි. ඒත් ඔබට කරන්න පුළුවන් වැඩ රාශියක් ඔබේ දක්ෂතා තුළ තිබෙනවා ඒවා කරන්න" කියලා මං එදා ඔබට කිව්වා මට තාම මතකයි.
එය සනාථ කරමින් ඔබ දඹුල්ල ජාතික පාසලට අමතක නොවන විදුහල්පතිවරයෙක් වශයෙන් මුළු පාසලම කෙටි කාලයකින් ඉතාම දියුණු තැනකට පත් කළා. ජීවිතය ඉතාම පිළිවෙලට සහ අර්ථවත්ව ගොඩනගාගත් ඔබට ඉතා සාර්ථක වාසනාවන්ත අනාගතයක් පෙනි පෙනීම, නැවතත් පෙර පරිද්දෙන්ම ඔබේ වාහනය තුළම අනතුරකට භාජනය වෙමින් අපෙන් සදහටම වෙන් වී තිබෙනවා. එයත් හරියට දෛවයේ සරදමක් වගේ යැයි මට හිතෙනවා.
ඔබ ජීවත්ව සිටියා නම් සාර්ථක අනාගතයක් සහ රටට අත්‍යවශ්‍ය විදුහල්පතිවරයෙක්, පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නට තිබුණා. තවත් දස දහස් ගණනකගේ නෙත් පාදන්නට ඔබට ඉඩකඩ තිබුණා. ඒත් අවාසනාවන්ත වූයේ ඔබ නොවේ, මේ රටේ දූ දරුවන් සහ ඔබේ ඥාති හිතවතුන් සහ හිතවත් අප පමණයි.
සරල අනතුරක් ලෙස සලකමින් මෙවන් අනතුරු අමතක කළත් ඔබේ වියෝව මුළු මහත් රටටම විශාල පණිවිඩයක් ලබා දෙනවා. මෙවන් අවස්ථාවක අතපසුවීම් මඟහැරීම් කළ සියලු දෙනා සහ සිදුවීම දන්නා සියලු දෙනාම ඉතා ඉවසීමෙන් යුතුව රටේ පුද්ගලයින්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතු යැයි මට හිතෙනවා. මේ අකාලයේ මිලිනව යන්නේ අපේ රටේ සම්පත්.
මේවා කෙසේ වුවද ඔබ දැන් අප අතැර ගොසින් අවසන්. ඉපදෙන ආත්මයේදී අප අතරම ඉපදී නැවතත් ඔබෙන් මගහැරුණු සේවාව අපට ලබා ගන්නට අප වාසනාවන්ත කරුණු ඇතැයි මං හිතනවා. මෙම අතිශය කණගාටුදායක අවස්ථාවේ ඔබේ පවුලේ සියලු ඥාතීන්, හිත මිත්‍රාදීන් වෙත මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.
මිනිසත්කමින් පිරි ආදරණීය ජානක, ඔබට නිවන් සුව..."