මූලික පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ මේ සිංහයින් 10 දෙනාටම යම් දරුණු විෂ වර්ගයක් ශරීරගත වීමෙන් මෙලෙස මියයන්නට ඇති බවයි.
අරුෂා කලාපයේ එන්ඩුලෙන් වසමේ එන්ඩුටු ප්‍රදේශයේ තිබිලා තමයි මේ සිංහ මළ සිරුරු ටික සොයාගෙන තියෙන්නේ. මේ ඛේදනීය සිදුවීමට හේතුව සහ ඊට වගකිවයුතු අදෘශ්‍යමාන හස්තයන් සොයාගන්න දැනටමත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.
නැගෙනහිර අප්‍රිකාවේ වනසතුන් සහ ගොවීන් අතර තියෙන දරුණු ගැටුම් නිසා මෙලෙස සතුන්ට වස දීලා මරාදැමීමේ සිදුවීම් නිතරම වගේ වාර්තා වෙන බවයි කියැවෙන්නේ.
යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වෙන Ngorongoro රක්ෂිතය කියන්නේ ටැන්සානියාවේ තියෙන ප්‍රධානතම සංචාරක ආකර්ෂණයකට. ඒ වගේම සිංහයන්, අලින්, මීහරක් ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්වූ වනසතුන් රැසකගේ එකම නිවහනත් මේ රක්ෂිතයයි.
මීට කලිනුත් පසුගිය ජනවාරි මාසයේදී කෙන්යා-ටැන්සානියා දේශසීමාව ළඟදී වස ශරීරගත වෙලා සිංහයින් 6 දෙනෙකු සහ ගිජුලිහිණයන් 30 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඒ වගේම ගිය මාසයේදී කෙන්යා දේශසීමාවේ අලින් 18 දෙනෙකු මියයාමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවටත් තොරතුරු වාර්තා වෙනවා.