අන්න ඒ කතාව අකුරටම ඔප්පු කරපු අපූරු අම්මා කෙනෙක් ගැන තමයි මේ දවස්වල මුළු අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වෙන්නේ. මේ කතාව ඇහුවම ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට කඳුළක් එන එක නම් වළක්වන්න බැහැ.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බීඩ් කියන පැත්තේ ජීවත් වෙන 47 හැවිරිදි රාමාබායි රන්වීර් තමයි මේ කතාවේ කතානායිකාව. ඇය පසුගිය අගෝස්තු මාසයේ කිලෝමීටර් 3ක මලල ක්‍රීඩා ධාවන තරගයකට ඉදිරිපත් වුණා. ඒ වෙන කිසිම දේකට නෙවෙයි, තරගය දිනලා ලැබෙන සල්ලිවලින් තමන්ගේ දුවලා දෙන්නට ඉගෙනගන්න ඕන කරන පොත්පත් ටික අරන් දෙන්න හිතාගෙන. පුදුමේ කියන්නේ ඇය මේ තරගයට දිව්වේ කිසිම පුහුණුවක් ඇතුව නෙවෙයි. සෙරෙප්පු දෙක දාගෙන දුවන්න අමාරු නිසා ඒකත් ගලවලා විසි කරලා, ඇඳන් හිටපු සාරියත් කැසපොට ගහගෙන තමයි ඇය මේ තරගය දිව්වේ. කොහොම හරි ඇගේ අධිෂ්ඨානය ජයගත්තා. කාන්තා අවුරුදු 30-60 කාණ්ඩයේ පළමු තැන දිනාගන්න ඇයට පුළුවන් වුණා.
තරගය දිනපු ඇයට ඉන්දීය රුපියල් 3000ක ත්‍යාග මුදලක් ලැබුණා. 2012 අවුරුද්දේ මහත්තයා නැතිවුණාට පස්සේ වෙනත් අයගේ වතුවල කුලී වැඩ කරලා, කඩල නෙළලා, කහ විකුණලා දරුවෝ ජීවත් කරවපු රාමාබායිට මේ මුදල මහමෙරක් වගේ වුණා.
ඇගේ ලොකු දුව රජයේ රැකියාවකට යන්න විභාගයකට ලෑස්ති වෙනවා වගේම, පොඩි දුවටත් ඉගෙනගන්න පොත්පත් ගන්න සල්ලි තිබිලා නෑ. සල්ලි නැති කමට පොත් අරන් දෙන්න බැරි වුණු නිසා පොඩි දුව දවස් 8ක් තිස්සේ අම්මා එක්ක කතා කරලත් නෑලු. ඒ දුකට තමයි ඇය කොහොම හරි මේ තරගය දිනනවාමයි කියලා හිතාගෙන මේ විදියට දිවලා තියෙන්නේ.
වයස 13දී තමන්ගේ පාසල් ගමන නවත්වන්න වුණු නිසා, තමන්ට අහිමි වුණු ඒ අවස්ථාව දරුවන්ට දෙන්න තමයි මේ අම්මා මේ හැම දුකක්ම විඳින්නේ. දැන් මේ අම්මා සාරියෙන් දිවපු වීඩියෝ එක සමාජ මාධ්‍ය පුරාම වේගයෙන් පැතිරිලා ගිහින්.
මේ සිදුවීමත් එක්කම ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතියේ තියෙන අඩුපාඩු ගැනත් ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. ඉන්දියාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති සුඛදේව් තෝරාට් පවා මේ ගැන අදහස් දක්වමින් කියලා තියෙන්නේ, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අම්මා කෙනෙක්ට මේ තරම් දුක් විඳින්න වෙලා තියෙන්නේ රජයේ සහන වැඩසටහන් හරියට ජනතාව අතරට යන්නේ නැති නිසා කියලයි. කොහොම වුණත් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ අම්මා කරපු කැපවීම නම් මුළු ලෝකෙටම ලොකු ආදර්ශයක්!