'Quartz' පුවත් සේවයේ අලුත්ම වාර්තාවලින් හෙළිවෙන්නේ, චීනේ තරුණයින්ගේ රස්සා ටිකට රොබෝලා සහ AI එකෙන් ලොකුම තර්ජනයක් ඇවිත් කියලයි. ආර්ථිකය දියුණු කරන්න කියලා බීජිං පාලනය හැම ක්ෂේත්‍රයකටම කෘත්‍රිම බුද්ධිය රිංගවන්න ගිහින්, දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්ගේ ඉඳන් ඩිලිවරි සේවකයින් වෙනකන් හැමෝගෙම රස්සා අනතුරේ වැටිලා.
බීජිං නුවර ජීවත් වුණු ෆෙයි ෂාඕජුන් කියන මෘදුකාංග ඉංජිනේරුවාට වුණු වැඩේ ඇහුවොත් ඔයාලට මේ තත්ත්වයේ බරපතළකම තේරෙයි. ඔහු වැඩ කරපු කොම්පැනියෙන් කෝඩින් (Coding) වැඩවලට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා බලලා. වැඩේ සාර්ථක වුණු ගමන් ෆෙයි ඇතුළු සේවකයින් 160 දෙනෙක්වම එකපාරටම ගෙදර යවලා! මධ්‍යම මට්ටමේ කෝඩින් තනතුරු ඔක්කොම දැන් AI වලින් රිප්ලේස් (Replace) වෙනවා කියලා තමයි ෆෙයි කියන්නේ. රස්සාව නැතිවුණු මේ තරුණයා ඊළඟට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව මේ දවස්වල කෙටි වීඩියෝ (Short videos) නිර්මාණය කර කර ඉන්නවා කියලත් ආරංචියි.
චීනේ කොම්පැනි කොච්චර ඉක්මනට මේකට හුරුවෙලාද කිව්වොත්, IDC ආයතනයේ දත්තවලට අනුව 2024 අවුරුද්දේදී AI පාවිච්චි කරලා තියෙන්නේ චීන කර්මාන්තශාලාවලින් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි වියදම් අඩු කරගෙන වැඩේ ඉක්මන් කරගන්න කොම්පැනිකාරයෝ දක්වපු උනන්දුව නිසාම, පහුගිය අවුරුද්ද වෙද්දි කොම්පැනි භාගයක්ම (50%ක් විතර) සම්පූර්ණයෙන්ම AI පාවිච්චියට මාරු වෙලා.
දැන් මේක ඇවිත් තියෙන්නේ පරිගණක තිරයෙන් එළියට. චීනේ තැපැල් සහ පාර්සල් වෙන් කරන්නෙත්, මාර්ග තදබදය පාලනය කරන්නෙත් ස්වයංක්‍රීය යන්ත්‍ර සහ මානවරූපී රොබෝවරු. නගර පුරා කෑම බෙදන්නත් දැන් රොබෝලා යොදවලා. මේ නිසා ඩිලිවරි රස්සාවල ඉන්න මිලියන ගාණක තරුණ තරුණියන්ට "හෙට මගේ රස්සාවත් රොබෝවෙක් ගනීවිද?" කියන බය දැන් තදින්ම දැනිලා තියෙනවා.