ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව, ගතවුණු මැයි මාසය තුළ විතරක් සංචාරකයින් 145,745 දෙනෙකු අපේ රට සුන්දරත්වය විඳින්න පැමිණ තිබෙනවා.
මේක නිකන්ම නිකන් පැමිණීමක් නෙවෙයි, ඉතිහාසගත වාර්තා පවා අලුත් කරපු සුපිරි වර්ධනයක්.
ගෙවුණු මැයි මාසයේ වාර්තා වුණු මේ සංචාරක පැමිණීම, පසුගිය 2025 වසරේ මැයි මාසයේ පැමිණි 132,919ට සාපේක්ෂව සියයට 9.65ක කැපී පෙනෙන වර්ධනයක්. ඒ වගේම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙන 2018 වසරේ මැයි මාසයේ පැමිණි 129,466ක සංඛ්‍යාවටත් වඩා සියයට 12.6ක විශාල වර්ධනයක් මේ හරහා සනිටුහන් වී තිබීම විශේෂත්වයක්.
ලංකාවට එන ටුවරිස්ට්ලා අතරින් මේ දිනවල වැඩිම ආකර්ෂණයක් දිනාගෙන තියෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි. මැයි මාසයේ විතරක් ඉන්දියාවෙන් සංචාරකයින් 60,342ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මැයි මාසයේ ආපු සමස්ත සංචාරකයින්ගෙන් සියයට 41ක්ම ඉන්දියානුවන්.
මීට අමතරව ලංකාවට වැඩියෙන්ම ආදරය කරපු අනෙක් රටවල් මෙන්න.
එක්සත් රාජධානිය (UK): 9,248
චීනය: 9,156
ජර්මනිය: 6,734
ඔස්ට්‍රේලියාව: 6,414
සියල්ලටම වඩා සුපිරිම ආරංචිය වෙන්නේ, මේ වසරේ (2026) ජනවාරි 01 වැනිදා ඉඳන් මැයි 31 වැනිදා දක්වා ගෙවුණු මාස 5 ඇතුළත ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,022,022 (මිලියනය) සීමාව පසුකර යාමයි.
මේ මාස පහ ඇතුළතත් වැඩිම පිරිසක් ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් (සංචාරකයින් 250,260ක්). දෙවැනි තැන එක්සත් රාජධානියට (98,093ක්) හිමිවෙද්දී, තෙවැනි තැන රුසියාවට (76,073ක්) හිමිවී තිබෙනවා.
මේ විදිහට දිගටම සංචාරකයෝ ලංකාවට ආවොත්, ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට වගේම ආර්ථිකයටත් ලොකු සහනයක් ලැබේවි කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බලාපොරොත්තු පළ කරනවා.