පුණානි ප්‍රදේශයේදී සිදු වූ මෙම දරුණු රේස් අනතුරෙන්, විසි හැවිරිදි තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් සදහටම සමුගන්නට සිදුව තිබෙනවා.
වාලච්චේන පොලීසිය පවසන අන්දමට මේ බිහිසුණු අනතුර සිදුව ඇත්තේ ඊයේ (01) රාත්‍රී කාලයේදීයි.
මඩකලපුව දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දැවැන්ත ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ගැටීමේ චණ්ඩභාවය කෙතරම්ද යත්, අනතුරත් සමඟ ටිපර් රථය ද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
විනාශ වී ගිය ත්‍රීරෝද රථය ඇතුළේ සිරවී සිටි පිරිස බේරාගැනීමට ප්‍රදේශවාසීන් වහාම ඉදිරිපත් වූ අතර, ලේ විලක් මැද සිටි තුවාලකරුවන්ව වැලිකන්ද සහ වාලච්චේන රෝහල් වෙත ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
අනතුරින් බරපතළ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කළ, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීට අමතරව, ත්‍රීරෝද රථයේ රියැදුරු, එහි පසුපස අසුනේ ගමන්ගත් කාන්තාව සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එමෙන්ම, මාර්ගයෙන් ඉවතට පැන පෙරළුණු ටිපර් රථයේ රියැදුරු ද තුවාල ලබා මේ වන විට වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි ආරංචි වන්නේ....