ඒ, පාරේ වැටී තිබුණු වටිනා මුදල් පසුම්බියක් එහි නියම අයිතිකරුටම භාර දෙන්න වෙහෙසුණු ඉතාමත් අවංක, හැදියාවක් ඇති පුංචි පාසල් සිසුවෙක් පිළිබඳ ආදරණීය පුවතයි.
තම පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මේ පුංචි පුතා, පාර දෙස ඉතාමත් අවධානයෙන් බලාගෙනයි ගොස් තිබෙන්නේ. ඒ යන අතරතුරේදී පාර අයිනේ වැටී තිබුණු යම් අපූරු වස්තුවක් ඔහුගේ නෙත ගැටී තිබෙනවා. මුලින්ම එය මේස් එකක් වැනි යමක් කියා සිතුවත්, ළඟට ගොස් බැලීමේදීයි ඔහුට වැටහී තිබෙන්නේ එය පිරිමි අය පාවිච්චි කරන මුදල් පසුම්බියක් බව.
ක්ෂණිකවම ක්‍රියාත්මක වූ පුතා, "තාත්තේ බයික් එක නවත්වන්න" යැයි පවසමින් එය අතට ගෙන තිබෙනවා. එය විවෘත කර බැලීමේදී එහි සෑහෙන මුදලක්ද අඩංගු වී තිබූ බවයි වාර්තා වෙන්නේ.
මුදල් දැක්ක ගමන් බොහෝ දෙනෙකුගේ හිත් වෙනස් වන සමාජයක, මේ පුංචි පොඩ්ඩා පියාට පවසා තිබෙන්නේ ඉතාමත් ආදර්ශමත් කතාවක්. "තාත්තේ, මේක අයිති කෙනා කොහොමහරි හොයලා අපි එයාටම මේක දෙමු" කියලයි ඔහු පවසා තිබෙන්නේ.
පුතාගේ අවංකකම ගැන ආඩම්බර වූ පියා, වහාම එම පසුම්බිය තුළ තිබූ දුරකථන අංකයක් සොයාගෙන ඊට ඇමතුමක් ලබා දී තිබෙනවා. පසුව එහි නියම අයිතිකරු පැමිණි පසු, කිසිදු අඩුවක් නොමැතිව එම මුදල් පසුම්බිය ඔහු වෙත භාර දීමට මේ අපූරු පියා සහ පුතා කටයුතු කර තිබෙනවා.
තමන්ගේ මුදල් පසුම්බිය අහිමි වී දැඩි කනස්සල්ලෙන් සිටි අයිතිකරුට එය නැවත ලැබීම නිසා ඔහු නිම්හිම් නැති සතුටකට පත් වී තිබෙනවා. පසුම්බිය අයිතිකරු අතට පත් කරන තෙක්ම දැඩි නොඉවසිල්ලකින් සහ උනන්දුවකින් සිටි මේ පුංචි පුතා, අවසානයේ පවසා තිබෙන්නේ "මට මාර සතුටුයි" කියායි.