ඒත් කිසිදා කිසිවෙකුට අසන්නට බැරි ඛේදාන්තයකින් ඔවුන් දෙදෙනාගේ කතාව නිම වෙලා.
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් ඉතා සංවේදී මෙන්ම අතිශය කම්පන සහගත පුවතක් වාර්තා වනවා. ඒ, තමන්ගේම විවාහ මංගල්‍යය සඳහා යමින් සිටි 27 හැවිරිදි තරුණ මනාලයෙකු වෙඩික්කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක්.
ඊයේ රාත්‍රී 7ට පමණ මෙම බිහිසුණු සිදුවීම වාර්තා වී ඇත්තේ, හර්යානාහි ඛේතසරායි පොලිස් වසමට අයත් බිබිපූර් ගම්මානය අසලදීයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදෝර් ගම්මානයේ පදිංචිකරුවෙකු වූ අසාද් බින්ද් නමැති තරුණයෙක්.
සම්ප්‍රදායානුකූල මංගල පෙරහැරකින් (Wedding Procession) මනාලයා සිය ඥාතීන් සමඟ මනාලියගේ නිවස බලා ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් මනාලයා ගමන් කළ වාහනය හරස් කර තිබෙනවා.
එහිදී මනාලයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, වෙඩි වැදුණු මනාලයා බේරීමට උත්සාහ කළත්, වෙඩික්කරුවන් වාහනය ලුහුබැඳ ගොස් දිගින් දිගටම වෙඩි තබා පළා ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
පෙරහැරේ සිටි ඥාතීන් වහාම ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා.
කෙසේවෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැති වුවත්, පොලිසිය පවසන්නේ මනාලියගේ ඥාතියෙකු මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු බවයි.
මුලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම විවාහයට මනාලියගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් අකමැත්තෙන් පසු වූ බවයි. එමෙන්ම මංගල පෙරහැර අතරතුරදී පවා මෙම සැකකාර ඥාතියා මනාලයාට පහරදීමට උත්සාහ කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කර ඇති බවයි හර්යානා පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.