මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තරුණයින් 22ක් සහ ඔවුන් පැමිණි යතුරුපැදි 22කි.
පොලිසිය පවසන පරිදි මෙම තරුණයින් පිරිස එකිනෙකා හඳුනාගෙන ඇත්තේ WhatsApp සමූහයක් (Group) හරහායි. එමගින් සංවිධානය වී නියමිත වේලාවට මාලඹේ ප්‍රදේශයට රැස්වී, අන්තරායකර ලෙස රේස් පදිමින් මෙම සංදර්ශනය පවත්වා තිබෙනවා.
පාරේ යන එන මිනිසුන්ට පවා තර්ජනයක් වෙමින් සිදුකළ මෙම "බයික් සෙල්ලම" පිළිබඳව කඩුවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රහසිගත තොරතුරක් ලැබී තිබුණා. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම්, කිසිවෙකුට පලා යාමට නොහැකි වන සේ අදාළ ස්ථානය වටල කර මෙම පිරිස කොටු කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් යතුරුපැදි පරීක්ෂා කිරීමේදී ඒ අතර තිබී මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි 02ක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂම කරුණ වන්නේ අත්අඩංගුවට ගත් තරුණයින් 22 දෙනාම කඩුවෙල ප්‍රදේශයෙන් බැහැර වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වීමයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් පිරිස පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන 05 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර තිබෙනවා.