වාහනේ ලයිසන් එක (ආදායම් බලපත්‍රය) ගන්න, එහෙමත් නැත්නම් උප්පැන්න සහතිකයක් වගේ දෙයක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම නොට් කුට්ටියක් පර්ස් එකේ දාගෙන යන්න වෙන කරදරේ දැන් කොළඹ අයට නම් ඉවරයි. ඔන්න අද (02) ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔක්කොටම සුපිරි වැඩක් හඳුන්වලා දීලා තියෙනවා.
ඒ තමයි ඔයාගේ අතේ තියෙන Credit හරි Debit කාඩ් එකෙන් (ATM Card) කෙළින්ම ඔෆිස් එකේදී ගෙවීම් කරන්න පුළුවන් පහසුකම!
මේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් තමයි සිද්ධ වුණේ. එතනදී රෙජිස්ට්‍රාර් අංශයට සහ වාහන ආදායම් බලපත්‍ර අංශයට අලුතින්ම POS මැෂින් දීලා, කාඩ් එකෙන් සල්ලි ගෙවලා පළවෙනි වැඩ ටික සංකේතාත්මකව කරලා පෙන්නුවා.
රාජ්‍ය බැංකුවක මූල්‍ය සහ තාක්ෂණික සහයෝගයත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ටම මේ පහසුකම අද ඉඳන් ක්‍රියාත්මක වෙනවා.
මේ වෙලාවේ අදහස් දක්වපු අගමැතිනිය කිව්වේ, වේගයෙන් ඩිජිටල්කරණය වෙන ලෝකයත් එක්ක අපේ රටේ රාජ්‍ය අංශයත් අලුත් වෙන එක තමයි රජයේ ප්‍රධාන අරමුණ කියලයි. මේ සිස්ටම් එක නිසා ජනතාවට සල්ලි උස්සගෙන යන වදය නැති වෙනවා වගේම, රජයේ ඔෆිස්වල වැඩත් ගොඩක් ඉක්මන් වෙනවා.
විශේෂම දේ තමයි, මේ ක්‍රමේ නිසා රජයේ ආයතන ඇතුළේ වෙන මුදල් වංචා කිරීම්, මුදල් නැතිවීම් වගේ දේවල් සම්පූර්ණයෙන්ම වගේ නවතිනවා. හැම ගනුදෙනුවක්ම ලියවෙන නිසා විගණනය කරන්නත් ලේසියි. ඒ වගේම මේක රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරන්නත් ලොකු හයියක් කියලයි අගමැතිනිය පෙන්වා දුන්නේ.
ඉතින් කොළඹ අයට නම් දැන් පර්ස් එක පුරවගෙන සල්ලි අරන් යන්න ඕනේ නෑ, කාඩ් එක ගැහුවා.. වැඩේ ගොඩ! කොළඹින් පටන් ගත්තු මේ ඩිජිටල් වැඩේ ඉක්මනින්ම ලංකාව වටේටම එනවා නම් නියමයි නේද?