ඒ වගේම මේ අවුරුද්දේ විවාහ ගැන ඒ දෙන්නා ලොකුවටම හීන මවලයි තිබුණේ.. ඒත් දැන් ඒ හැම කතාවක් වෙනස් වෙලා.. මෙයලා දෙන්නා විවාහ වෙන්න කොයි තරම් ආසාවෙන් සතුටෙන් ආදරයෙන් හිටියද කියලා ඒ දෙන්නගේ සමාජමාධ්‍ය සාක්ෂි දරාවි.
විවාහ මංගල්‍යය සඳහා ඉන්දියන් රුපියල් කෝටි 17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 270කට අධික) වැය කරමින් රාජස්ථානයේ සුපිරි ශාලාවක් වෙන්කර, අමුත්තන් සඳහා පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කර තිබූ දැවැන්ත මංගල සිහිනයක් සැබෑ වීමට මොහොතක් තිබියදී සිදුවූ තරුණ ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ අද්භූත මරණය, ඔහුගේ අනාගත මනාලිය සහ ඇගේ රහස් පෙම්වතා විසින් සිදුකරන ලද සාහසික ඝාතනයක් බව පූනේ ග්‍රාමීය පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබුණේ පසුගිය දවසකයි.
මුළු මහත් ඉන්දියාවම කම්පාවට පත් කළ මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනා මේ වන විට දින 7ක පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වන විශාල් අගර්වාල්ගේ පුත් 25 හැවිරිදි කේතන් අගර්වාල් මෑතකදී විදේශයන්හි අධ්‍යාපනය නිමවා මෙරටට පැමිණ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.
ඔහු පසුගිය ජූනි 18 වෙනිදා ලෝහගාඩ් බලකොටුවේදී අඩි 350ක ප්‍රපාතයකට වැටී මියගොස් තිබුණා.
අනතුරෙන් පසු කේතන්ගේ 20 හැවිරිදි පෙම්වතිය වූ සියා ප්‍රවීන් ගෝයල්, ඔහුගේ පවුලේ අයට දුරකථනයෙන් අමතා පවසා තිබුණේ බලකොටුව තරණය කරමින් සිටියදී ඡායාරූපයක් ගැනීමට යාමේදී කේතන් පය ලිස්සා ප්‍රපාතයට වැටුණු බවයි.
පැය තුනක මෙහෙයුමකින් පසු කේතන්ගේ සිරුර සොයාගැනීමෙන් අනතුරුව ලෝනාවාලා ග්‍රාමීය පොලීසිය මුලින් එය හදිසි අනතුරු මරණයක් ලෙස සටහන් කරගත්තා.
කෙසේ වෙතත්, කේතන් යනු නිරන්තරයෙන් කඳු තරණය කරන්නෙකු බැවින් ඔහුගේ සහෝදරියට මෙම "අනතුරු කතාව" පිළිබඳව දැඩි සැකයක් මතුව ඇති අතර, කේතන්ගේ අවමංගල්‍ය උත්සවයෙන් දින හතරකට පසු සියා ගෝයල් ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී, සහෝදරිය ඇගෙන් ඉතා සියුම් ලෙස ප්‍රශ්න කළා.
එහිදී සියා ලබාදුන් පරස්පර විරෝධී සහ මගහැර යන සුළු පිළිතුරු නිසා සහෝදරියගේ සැකය තවත් දැඩි වූ අතර, ඇය පවුලේ අය සමඟ එක්ව පොලීසියෙන් නැවත පරීක්ෂණයක් ඉල්ලා සිටියා.
පවුලේ ඉල්ලීම මත පොලීසිය තාක්ෂණික සාක්ෂි සහ CCTV දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කළා. එහිදී ජූනි මාසයේ පවතින දැඩි උණුසුම් කාලගුණය නොතකා, හිස ආවරණය වන පරිදි 'හුඩියක්' පැළඳගත් අද්භූත පුද්ගලයෙකු කේතන් සහ සියා ගමන් කළ වාහනය පසුපස හඹායන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබුණා.
මෙම අසාමාන්‍ය ඇඳුම කෙරෙහි පොලීසියේ අවධානය යොමු වූ අතර, පසුව එම පුද්ගලයා පූනේ නුවර BBA උපාධිය හදාරන 22 හැවිරිදි චේතන් බාබුලාල් චෞද්‍රි බව හඳුනාගෙන තිබුණා.
පොලිස් තාක්ෂණික පරීක්ෂණවලදී හෙළි වූයේ වාණිජ විද්‍යා ශිෂ්‍යාවක වන සියා සහ චේතන් වසර තුනක සිට සබඳතාවක් පවත්වා ඇති අතර, මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස කිහිපය තුළ පමණක් ඔවුන් දෙදෙනා වාර 2,004ක් දුරකථනයෙන් සම්බන්ධ වී පැය 238කට වඩා වැඩි කාලයක් කතා කර තිබුණ බවට හෙළිවුණා.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් දෙදෙනාම අපරාධය පිළිගෙන තිබෙනවා. සියාට කේතන් සමඟ විවාහ වීමට අවශ්‍ය වී නොමැති අතර, ඇය චේතන් සමඟ එක්ව කේතන්ව ජීවිතයෙන් ඉවත් කිරීමට මෙම රහසිගත කුමන්ත්‍රණය දියත් කර ඇති අතර, චේතන් කලින්ම බලකොටුවට පැමිණ මොවුන් පසුපස ගොස් ඇති අතර, සියාගේ උපන්දිනය දිනට පෙර දින ඇය බලකර කේතන්ව මෙම බලකොටුව වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ලැබුණු අවස්ථාවකින් ප්‍රයෝජන ගත් සියා සහ චේතන් එක්ව කේතන්ව ප්‍රපාතයට තල්ලු කර දමා ඇති අතර, පසුව පොලීසිය මුලාවේ දැමීම සඳහා සියා සමාජ මාධ්‍ය වෙත ශෝකී සටහන් ද එක් කර තිබුණා.
පොලිස් පරීක්ෂණවලට අනුව, සියා සහ කේතන් මීට පෙර දෙවතාවක්ම ලෝහගාඩ් බලකොටුවට ගොස් තිබූ අතර, එක් වතාවකදී කේතන් අවසන් මොහොතේ ගමන අවලංගු කර තිබුණා. පොලීසිය සැක කරන්නේ මෙය කේතන්ව ඝාතනය කිරීමට ඔවුන් දැරූ සිවුවැනි උත්සාහය විය හැකි බවයි.
මීට අමතරව, ජූනි මුල් සතියේ බාලි දූපත්හි පැවැත්වීමට තිබූ විවාහයට පෙර ඡායාරූප ශිල්පී කටයුත්තක් ද අවලංගු කිරීමට සිදුවී ඇත්තේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණි පසු කේතන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අතුරුදන් වී ඇති බව දැනගැනීමෙන්. පොලීසිය පවසන්නේ කේතන් සමඟ බාලි යාම මඟහැරීම සඳහා සියා විසින් එම ගමන් බලපත්‍රය සඟවා ඇති බවයි.
ලෝනාවාලා ග්‍රාමීය පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය අපරාධ විමර්ශන අංශය එක්ව මෙම අමානුෂික ඝාතනය සඳහා සැකකරුවන්ට වෙනත් කිසිවෙකු හෝ උදව් උපකාර කර ඇත්දැයි සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.