මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී සොයා ගත් භෞත චිකිත්සකවරියගේ පෙම්වතා යැයි කියන තරුණයා හඳුනා ගැනීමට නුවරඑළිය පොලිසිය මහජන සහය පතනවා.
ඒ අනුව, ඉහත ඡායාරූපයේ අය දුටුවහොත් නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක 071- 8591096 සහ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක 071- 8591097 වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය තරුණිය සිය පෙම්වතා සමග නුවරඑළියේ සංචාරක හෝටලයක අවස්ථා දෙකකදී නවාතැන් ගෙන සිටි බවට නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද මූලික විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
එම තරුණිය සමග සැකකරු ඉකුත් 02 වැනිදා හෝටලයට පැමිණ 10 වැනිදා පිටව ගිය බවත්, පසුව තරුණිය 16 වැනිදා තනිවම හෝටලයට පැමිණි බවට තොරතුරු අනාවරණය වෙනවා.
පසුව පෙරේදා (16) රාත්‍රී 9:00ට පමණ සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් එම සංචාරක හෝටලයට පැමිණ බිරිඳ රෝගාතුරව ඇති බව එම හෝටලයේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී පෙම්වතියව ඔසවාගෙන විත්, හෝටලයේ බිල්පත ද ගෙවා තරුණියව මෝටර් රථයේ දමාගෙන රැගෙන ගිය බවට එම හෝටලයේ ආරක්ෂක නිළධාරියා පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබෙනවා.
වැලිගම ප්‍රදේශයේ පදිංචි පී.ආර්. ශ්‍යාමා දර්ශනී නමැති 33 හැවිරිදි ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් බවත්, ඇය 2023 වසරේ සිට එම රෝහලේ සේවය කර විදේශ ගත වන බව පවසා රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බවත්, අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විරේජත්න පැවසුවා.
පොලිසිය පවසන්නේ, ඇගේ පෙම්වතා බව කියන 35 හැවිරිදි ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තා ඇය සමග ඇති වූ බහින්බස් වීමකින් පසු, තරුණිය ඝාතනය කර හෝටලයෙන් රැගෙන ගොස් මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා ගොස් ඇති බවට සැක කරන බවයි.
එම පුද්ගලයා අදාල තැනැත්තිය ඔසවාගෙන යන අයුරු එම හෝටලයේ CCTV දර්ශනවලින් පැහැදිලිව දර්ශනය වන බව පොලිසිය පවසනවා.
පසුව රථගාලේ වාහනයක් තුළ කාන්තාවක් ඝාතනය වී ඇති බව කියමින් පොලිසියට දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මෙම සැකකරු බවට පොලිසිය මේ වනවිට සැක පල කරනවා.
ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑළිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.