සමහර පුවත් අපේ හිත් සතුටින් පුරවද්දී, තවත් සමහර පුවත් අපේ හිත් අන්තිම අඩියටම කම්පනයට පත් කරනවා. මේ කියන්න යන්නෙත් මුළු රටක්ම හඬවපු, අහස පොළොව නුහුලන අපරාධයක් ගැන.
කතාව පටන් ගන්නේ අනුරාධපුර, හොරොව්පොතානෙන්. 26 හැවිරිදි සඳමාලි විවාහ වෙලා හිටියේ යුද හමුදාවේ සිවිල් සේවකයෙක් වුණු 48 හැවිරිදි පුද්ගලයෙක් එක්ක. වයස් පරතරය අවුරුදු 22ක්. කාලය ගත වෙද්දී සඳමාලිට තමන්ගේ සැමියා පෙනුණේ වයසක මහල්ලෙක් වගේ. මේ නිසාම ඇය හිටියේ දැඩි නොරිස්සුමකින්. ඔවුන්ට අවුරුදු 4ක දිලීප නමින් ලස්සන පුතෙක් හිටියා.
ඔය අතරේ තමයි මින්නේරියේ ඉඳන් කුලී වැඩ හොයාගෙන ආපු 26 හැවිරිදි සුරේෂ් කුමාරව සඳමාලිට හමුවෙන්නේ. වයසින් සමාන සුරේෂ් එක්ක සඳමාලි ඇති කරගත්ත හිතවත්කම කෙළවර වුණේ රහසිගත ලිංගික සම්බන්ධතාවයකින්. දවසක් සඳමාලි තමන්ගේ 4 හැවිරිදි දරුවාවත් අරගෙන සැමියාව දාලා සුරේෂ් එක්ක මින්නේරියට පැනලා යනවා.
කටුමැටි ගහපු පුංචි පැල්පතක අලුත් ජීවිතය පටන් ගත්තත්, සුරේෂ්ට මේ දරුවා වදයක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. තමන්ගේ ලේ නොවීම එක හේතුවක් වෙද්දී, ප්‍රධානම හේතුව වුණේ මේ දෙන්නට ඕන ඕන වෙලාවට යහන්ගත වෙන්න දරුවා බාධාවක් වීමයි.
කාමයෙන් අන්ධ වුණු සඳමාලිටත්, සුරේෂ්ටත් දරුවා පෙනුණේ හතුරෙක් වගේ. සුරේෂ් බාප්පාගෙන් දරුවා ගුටි කද්දී, අම්මා ළඟට දිව්වත් ඇයගෙනුත් ලැබුණේ අමානුෂික වධහිංසා විතරයි. සමහර දවස්වලට මේ දෙන්නගේ සතුට වෙනුවෙන් අහිංසක පැටියාව ගෙදරින් එළියට ඇදලා දාන්න තරම් ඔවුන් තිරිසනුන් වුණා.
මියගිය දවසේ දවල් දරුවා කෑගහලා අඬමින් පාර දිගේ දුවලා තියෙන්නේ බාප්පා ගහලා ගෙදරින් එලවපු නිසා. කිලෝමීටර භාගයක් විතර තනියම අඬ අඬා ආපු ඒ අහිංසක දරුවාට අසල්වැසි කාරුණික කාන්තාවක් බිස්කට් සහ කිරි දීලා බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි දරුවාව නිවසට රැගෙන යන්න ආපු මේ කාලකන්නි මව සහ සුළු පියා, අසල්වැසියන්ටත් බැන වැදිලා දරුවාව බිම දිගේ ඇදගෙන ගිහින් තියෙන්නේ යක්ෂයෝ වගේ.
එදා ගෙදරට ඇදගෙන ගිය දරුවාට අතින්, පයින් වගේම පොල්ලකින් මාරාන්තික ලෙස පහර දීලා තිබුණා. දරුවා සිහි නැතිව ඇද වැටෙද්දී තමයි මුන් දෙන්නා දරුවාව හොස්පිට්ල් අරන් ගියේ. හැබැයි ඒ වෙනකොටත් දිලීප පුතා මෙලොව හැර දාලා ගිහින්.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරුන් පවා කම්පා වුණා. ඒ පුංචි සිරුරේ තැලුම් තුවාල 48ක් තිබුණා.. මාස 3ක් තිස්සේ නිසි කෑමක් බීමක් නැතුව හිටපු ඒ දරුවාගේ ඇඟේ ලේ බිඳක්වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ. පහරදීම් නිසා සිරුරේ අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන්, හෘදයට ලේ ගමනාගමනය නතර වීමෙන් ඇති වූ කම්පනය නිසයි දරුවා මියගොස් තිබුණේ.
පොලිසියෙන් "ඇයි මේ දරුවාට ගැහුවේ?" කියලා අහද්දී, බිම බලාගෙන "ඉතින්.. දරුවාට ගැහුවා" කියලා කියන්න තරම් ඒ මවගේ හිත ගල් වෙලා තිබුණා. අද ඒ දෙන්නට වෙලා තියෙන්නේ හිරගෙදර කම්බි කූරු ගනින්නයි. කවදා හෝ දවසක මේ දෙමව්පියන්ටත් මේ වගේම ඉරණමක් අත් වෙද්දී, එදාට මේ දරුවා ගැන දුක් වුණා වගේම ලෝකය ඔවුන් ගැනත් දුක් වේවි.