හැබැයි මේ හැම දේකටම වඩා එහා ගිය, මනුෂ්‍යත්වය සහ මාතෘ සෙනෙහස පිරුණු අපූරු දසුනක් සමාජ මාධ්‍ය පුරා මේ වෙද්දී හරිම වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.
ලක්මිණී විමලරත්න මහත්මිය කියන්නේ අපේ රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන දක්ෂ පොලිස් නිලධාරිනියක්. හැබැයි පසුගියදා පාසලක පැවැත්වුණු වැඩසටහනකදී ඇය රාජකාරිය පැත්තකින් තියලා, මුළු රටකම ආදරය දිනාගත්තු "අම්මා කෙනෙක්" බවට පත් වුණා.
එදා ඒ ඉස්කෝලේ තිබුණු වැඩසටහනට හැම ළමයෙක්ගෙම අම්මලා ඇවිත් හිටියා. තමන්ගේ යාළුවෝ හැමෝම අම්මලා එක්ක සතුටින් ඉද්දී, එක පුංචි දුවෙක් විතරක් තනිවෙලා හිටියේ ඇයගේ අම්මාට ඒ වෙලාවේ එන්න නොහැකි වුණු නිසා. අම්මා නැති පාලුව වගේම දුක දරාගන්න බැරි වුණු ඒ චූටි දුව, කාටවත් නොදැනෙන්න හොරෙන්ම අඬන්න පටන් ගත්තා.
මේ දසුන එතන හිටපු කාගේවත් ඇස ගැටුණේ නැතත්, ලක්මිණී මහත්මියගේ "මව් සිතට" නම් ඒක මඟහරින්න පුළුවන් වුණේ නැහැ. ඇය වහාම ක්‍රියාත්මක වෙලා ඒ අඬන පුංචි දුවව තමන්ගේ ළඟට ගෙනත්, ආදරයෙන් පපුවට තුරුළු කරගත්තේ තමන්ගේම ලේ කිරි කරලා පොවපු දරුවෙක් ගාණටයි.
පොලිස් නිල ඇඳුමෙන් සැරසිලා හිටියත්, ඇය ඒ පුංචි දුවගේ හිස පිරිමදිමින්, කඳුළු පිසදමමින් ඇයව සනසන ආකාරය දකිද්දී එතන හිටපු හැමෝගෙම දෑස් තෙත් වුණා. ඇත්තටම මේ පින්තූරයෙන් අපිට පෙන්වන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිල ඇඳුමකට යටින් ගැහෙන, හරිම ආර්ද්‍ර මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක්.
මුහුණු පොත ඇසුරෙන්