ඒ, ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්වයත් සමඟ නාවලපිටිය, ඉඹුල්පිටිය උඩ කොටසේ පිහිටි නිවසක් මතට මහා මාර ගසක් කඩා වැටීමේ පුවතක්.
අද අලුයම 1:00 ට පමණ හැමෝම තද නින්දේ පසුවූ වෙලාවකයි මේ අනපේක්ෂිත අනතුර සිදුවී තිබෙන්නේ. ගස කඩා වැටීමත් සමඟ මුළු නිවසටම දැඩි අලාභහානි සිදු වී ඇති අතර, නිවස තුළ සිටි එකම පවුලේ සිව් දෙනෙකු ගසට සහ සුන්බුන් වලට සිරවී බරපතල තුවාල ලබා තිබෙනවා.
මහා ශබ්දයක් ඇසී වහාම ක්‍රියාත්මක වූ අසල්වාසීන්, ගසට සහ නිවසට සිරවී සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන්ව වහාම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව නාවලපිටිය පොලිසිය තහවුරු කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
දැඩි සුළං සහ වර්ෂා කාලවලදී මෙවැනි අනතුරුදායක විශාල ගස් අසල ජීවත්වන ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි බලධාරීන් මතක් කර සිටින්නේ.