ඒ සෙනෙහස කැටි කරගෙන, තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විදෙස් ගතවෙලා දුක් මහන්සි වුණු අම්මා කෙනෙකුට, යළිත් ලංකාවට ඇවිත් දරුවනුත් එක්ක සතුටින් ඉන්න ලැබුණේ දවස් කිහිපයක් විතරයි. මුළු ප්‍රදේශයක්ම කඳුළක ගිල්වූ මේ ශෝචනීය කතාව ඇහෙන්නේ දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයෙන්.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඩී.එම්. දිලානී අරෝෂා නමැති සිව්දරු මවක්. දරුවන් වෙනුවෙන් කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරලා, ඇය ලංකාවට ඇවිත් තිබුණේ පසුගිය 08 වැනිදා.
පවුලේ අය සූදානම් වෙලා හිටියේ ලොකු දරුවාට තියෙනවා කියන අපලයක් වෙනුවෙන් කතරගම ගිහින් භාරයක් ඔප්පු කරන්නයි. ඊයේ (25) පස්වරුවේ, රාත්‍රී කෑම එක හදාගන්න අවශ්‍ය කළමනා ගේන්නත් එක්ක, අම්මා දරුවන් දෙන්නත් එක්ක පාර අයිනේ රැඳී සිටියා. ඒ වෙළෙඳසැලට යන්න බලාපොරොත්තුවෙන්.
එහෙම ඉන්නකොට මාතලේ ඉඳන් දඹුල්ල පැත්තට අධික වේගයෙන් ආපු ටිපර් රථයක්, එකපාරටම රියදුරුට පාලනය කරගන්න බැරිව මාර්ගයෙන් ඉවතට පැනලා මේ අම්මාවයි දරුවන් දෙන්නවයි යට කරගෙන ගියා. කිසිම දෙයක් හිතාගන්නත් කලින් දරුවන්ගේ ඇස් ඉදිරිපිටම ඒ ආදරණීය අම්මා එතැනම අවසන් හුස්ම හෙළුවේ කාගෙත් හිත් කම්පනයට පත් කරමින්.
මේ බිහිසුණු අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඉන් වැඩිමහල් දරුවා (මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවා) දඹුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේත්, 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අනෙක් දරුවා සාමාන්‍ය වාට්ටුවේත් මේ වන විට ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරුව මේ වන විට දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කතරගම ගිහින් දරුවාගේ අපලේ දුරු කරලා එන්න හිටපු මේ අම්මාට, කිසිම සමාවක් නැති මාරයා ටිපර් රථයක් විදිහට ඇවිත් ඒ දරුවන්ට අම්මා නැති කරලා ගියේ කාටත් නොසිතූ මොහොතකයි.