පසුගිය ජූලි 18 වෙනිදා මුම්බායි හි බාන්ද්‍රා ප්‍රදේශයේ SRA (Slum Rehabilitation Authority) කාර්යාලයේ පැවැත්වුණු උත්සවයකට සහභාගී වුණු සල්මන්ගේ මුහුණේ තිබුණු අධික වෙහෙසකර බව තමයි මේ විදිහට හැමෝගෙම කතාබහට ලක්වෙලා තියෙන්නේ.
තමන්ගේ විශ්වාසවන්තම ආරක්ෂකයා වෙන 'ශේරා' එක්ක මේ උත්සවයට ආපු සල්මන්, එතනදි අලුත් Data Center එකක් විවෘත කළා වගේම විශේෂ සමරු කලාපයක් එළිදැක්වීමත් සිදු කළා. ඒ විතරක් නෙමෙයි, අඩු ආදායම්ලාභී පවුල් 50කට වැඩි පිරිසකට ස්ථිර නිවාසවල යතුරු ප්‍රදානය කිරීමත් ඔහුගේ අතින් සිද්ධ වුණා. ලා දුඹුරු පැහැති කමිසයකින් සහ තොප්පියකින් සැරසිලා හිටපු සල්මන්, වෙනදා වගේම මේ පුණ්‍ය කටයුත්තට උනන්දුවෙන් සහභාගී වෙලා හිටියත්, කැමරා කාචවල සටහන් වුණේ ඔහුගේ වෙනදා නොතිබුණු ලොකු වෙහෙසකර බවක්.
මේ උත්සවයේ වීඩියෝ අන්තර්ජාලයට ආවත් එක්කම වයිරල් වෙන්න පටන් ගත්තා. ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන්නේ "සල්මන්ට මොකද වෙලා තියෙන්නේ?" කියලයි. ඔහුගේ මේ පෙනුමට හේතුව විදිහට සමාජ මාධ්‍යවල විවිධ කතා පැතිරෙනවා:
අධික දුම්පානය සහ ආතතිය: දැඩි කාර්යබහුලත්වය සහ දුම්පානය නිසා ඔහු එකපාරටම වයසට ගිහින් බව සමහරු කියනවා.
පරණ ලෙඩ රෝග යළිත් ඇවිත්ද? ඔහුට කලින් තිබුණු Trigeminal Neuralgia (මුහුණේ ස්නායු සම්බන්ධ දරුණු වේදනාවක් ගෙන දෙන රෝගයක්), මොළයේ ආබාධ සහ පරණ ශල්‍යකර්මවලින් පස්සේ ආපු අතුරු ආබාධයක් නිසා මේ විදිහට පෙනුම වෙනස් වෙලාද කියලත් රසිකයින් ලොකු සැකයක් මතු කරනවා.
කොහොම වුණත්, සල්මන්ට ආදරය කරන තවත් පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ක් වෙද්දි ඕනෑම කෙනෙක් වයසට යාම ස්වභාවික දෙයක් කියලයි.
"එඩිට් නොකරපු වීඩියෝ කෑලි දෙක තුනක් දැකලා මිනිස්සුන්ව මනින්න එපා. වයසට ගියත් සල්මන් කියන්නේ තාමත් බොලිවුඩයේ රජා!"
මෙලෙස සටහන් දමන රසිකයින් සමහරක් සල්මන්ව, තාමත් ක්‍රියාශීලීව ඉන්න ධර්මේන්ද්‍ර වගේ ප්‍රවීණ නළුවන්ටත් සමාන කරලා තිබුණා.
මේ කතාබහ සහ විවේචන ගැන සල්මන් ඛාන් නම් තාමත් කිසිම අදහසක් දක්වලා නැහැ. කොහොම වුණත් ඔහු එදින පුරාවටම හරිම සතුටින් මේ සමාජ සත්කාරයට සහභාගී වුණු බව තමයි ඉන්දියන් මාධ්‍ය වාර්තා කරන්නේ.