එහිදී පූර්ණ පොලිස් ගෞරව සහිතව දේහයට අවසන් කටයුතු සිදු කෙරෙනු අතර, ඊට පෙර දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණා.
හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් රැසක් එක්ව සිටි අතර, ඔහුගේ මේ මරණය සම්බන්ධයෙන් ඇසෙන ආන්දෝලනාත්මක කතා රැසක් මැද, තවමත් මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මිය යාමට දින දෙකකට පෙර රුහුණු මහා කතරගම දේවාලයද වැඳපුදාගෙන ඇති බවට වාර්තා වෙනවා.
හිටපු පොලිස්පතිවරයා පසුගිය 14 වැනිදා සිය හිතවතකු සමගින් කතරගමට පැමිණ ඇති අතර එදින කතරගම පිහිටි පොලිස් නිවාඩු නිකේතනයේදී ආහාර ද ලබාගෙන තිබෙනවා.
මෙම නිවාඩු නිකේතනයේ ස්ථානාධිපතිවරයා විසින් හිටපු පොලිස්පතිවරයාගේ පැමිණීම ගැන කතරගම පුදබිමේ විශේෂ ආරක්ෂක රාජකාරියේ නිරත සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දුට පවසා ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඒ පිළිබඳ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහට ද පවසා තිබුණා.
එම නිලධාරීන් දෙදෙනාම පොලිස්පතිවරයා කතරගම පුදබිමේ සොයා ඇතත් පොලිස්පතිවරයා හමුවී නැහැ. දුරකථනයටද ප්‍රතිචාර දක්වා නැහැ.
නමුත් ලබාගත් දුරකථන ඇමතුමකට ප්‍රති ඇමතුමක් හිටපු පොලිස්පතිවරයාගෙන් ලැබී ඇත්තේ සහකාර පොලිස් අධීකාරී ප්‍රසාද් ප්‍රනාන්දුටයි.
එහිදී හිටපු පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමා හදිසියේම කතරගමට පැමිණි බවත් කතරගම පෙරහර මංගල්‍ය අවසන් වීමට පෙර යළි කතරගමට පැමිණෙන බවත්ය.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා කතා බහ කළ ආකාරයෙන් ඔහු කිසිදු මානසික පීඩනයකින් හෝ කිසිදු ගැටලුවකින් නොසිටි බවයි.