ගලගාහේන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක සිට මීටර් 45ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක තිබියදියි හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
පොලිස් පරීක්ෂණවලදී අදාළ වෙන්දේසි ඉඩම පරීක්ෂා කිරීමේදී, මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් ද හමුවී තිබීම මේ වනවිට දැඩි කුතුහලයක් මතු කර තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචිව සිටි දෙදරු පියෙක්.
ඇඟලුම් ආයතනයක සේවය කරන මෙම පුද්ගලයා, ඊයේ (15) රාත්‍රී 7ට පමණ සිය යතුරුපැදියෙන් කුලී ගමනක් (Hire එකක්) සඳහා පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට නිවසින් පිටත්ව ගොස් තිබූ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. රාත්‍රියේ නිවසට නොපැමිණීම හේතුවෙන් මොහු අතුරුදන් වී ඇති බවට අද (16) පෙරවරුවේ මීගොඩ පොලිසියට ද පවුලේ ඥාතීන් විසින් පැමිණිල්ලක් දමා තිබුණා.
මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් ඔහුගේ මුහුණේ කොටස් කා දමා තිබූ අතර, සිරුර හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙය සැබවින්ම ඝාතනයක්ද නැතහොත් වෙනත් අනතුරක්ද යන්න සෙවීම සඳහා හෝමාගම පොලිසිය මේ වනවිටත් දැවැන්ත පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.