ඒ, ChatGPT ආධාරයෙන් සකස් කරපු සුපිරි පරිගණක මෘදුකාංගයක් (Software) පාවිච්චි කරලා, ජපානයේ අතිශය ජනප්‍රිය Anime (කාටූන්) වෙබ් අඩවියක පරිශීලක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් එක රැයින් අවලංගු කරපු 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙක්ව ජපන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුවතයි.
මේ කියන 15 හැවිරිදි සිසුවා ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ සුප්‍රකට 'Bandai Namco Filmworks' සමාගමට අයත් 'Bandai Channel' කියන සජීවී දර්ශන නැරඹීමේ වෙබ් අඩවියටයි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මේ සිසුවා දීලා තියෙන්නේ හැමෝම පුදුම කරවන උත්තරයක්. ඔහු පවසන විදිහට පසුගිය 2025 නොවැම්බර් මාසයේදී මේ සයිට් එකේ තිබුණු ආරක්ෂක දුර්වලතාවක් මෙයා අල්ලගෙන තියෙනවා. ඉන්පස්සේ සාමාජිකයන්ගේ ගිණුම්වලට හොරෙන් ඇතුළු වෙලා ඒවා ස්වයංක්‍රීයවම ඩිලීට් වෙන්න කේතයක් (Code) මෙයා තනියම ලියලා තිබුණත්, ඒක ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලා ගිහින් තියෙනවා. වැඩේ ස්පීඩ් කරගන්න තමයි මෙයා ChatGPT එකෙන් උදව් අරගෙන වෙනත් පරිගණක භාෂාවකින් සුපිරි සොෆ්ට්වෙයාර් එකක් හදාගෙන තියෙන්නේ.
ඒ අනුව 2025 නොවැම්බර් 4 වනදා මේ සිසුවා නිකුත් කරපු ව්‍යාජ පරිගණක විධාන (Commands) නිසා, සයිට් එකේ රෙජිස්ටර් වෙලා හිටපු සාමාජිකයන් 46,812 දෙනෙකුගේ ගිණුම් සැනෙකින් අවලංගු වෙලා ගිහින්..
මේ හිතාගන්න බැරි ප්‍රහාරය නිසා අඩාල වුණු සයිට් එක යථා තත්ත්වයට පත් කරගන්න සමාගමට දෙසැම්බර් මාසය වෙනකම්ම දවස් ගණනාවක් කට්ට කන්න සිද්ධ වෙලා තියෙනවා.
සමාගම විසින් මේ සිසුවාව වළක්වන්න ඔහුගේ පරිගණක අන්තර්ජාල ලිපිනය බ්ලොක් කරන්න පියවර ගත්තත්, ඔහු ලෙහෙසියෙන් අතඇරලා නැහැ. ඔහු 30 වතාවකට වඩා තමන්ගේ IP ලිපිනය වෙනස් කරමින් දිගින් දිගටම මේ ප්‍රහාරය එල්ල කරලා තියෙනවා. හැබැයි පුදුමය කියන්නේ මේ සිසුවා මීට කලින් ගිය ජුනි මාසයේදීත් වෙනත් සයිබර් අපරාධයක් කරලා පොලීසියට අහුවුණු කෙනෙක් වීමයි.
කොහොම වුණත් "මට සමාගම එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ. ලෙහෙසියෙන්ම හැක් කරන්න පුළුවන් ගිණුම් ගොඩක් තිබුණු නිසයි මම මේ සයිට් එක තෝරාගත්තේ" කියලා තමයි මේ සිසුවා පොලීසියට කියලා තියෙන්නේ.
සිද්ධියෙන් පස්සේ පීඩාවට පත් වුණු තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් 'Bandai Namco Filmworks' සමාගම සමාව අයැද සිටි අතර, සර්විස් එක නැති වුණු කාලය වෙනුවෙන් පාරිභෝගිකයන්ට මුදල් ප්‍රතිපූරණය (Refunds) කරන්නත් පියවර ගෙන තිබෙනවා. හැබැයි වාසනාවකට වගේ පාරිභෝගිකයන්ගේ කිසිදු පෞද්ගලික දත්තයක් අන්තර්ජාලයට ලීක් වෙලා හෝ අවභාවිත වෙලා නැහැ කියලා සමාගම තහවුරු කරලා තියෙනවා.