තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය දෙස බලාගෙන දෙමව්පියන් සතුටු කඳුළු සලන දවසක්. හැබැයි, පසුගියදා පිලිපීනයේ 'University of Antique' හි පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයේදී මුළු ශාලාවම එකවරම නිශ්ශබ්ද වුණේ කාගේත් නෙතට කඳුළක් උනන අපූරු, හැඟීම්බර සිදුවීමක් නිසායි.
එතැන හිටියා දියණියකගේ උපාධිය ලබාගන්න ආපු ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ නම සේසර් කැහිලිග් (Cesar Cahilig). හැබැයි මේ තාත්තා එක්ක වේදිකාවට යන්න ඔහුගේ ආදරණීය දියණිය චෙරිලින් (Cherilyn) ඇය අසලින් හිටියේ නැහැ. ඇය හිටියේ එකම එක රූපයක විතරයි. ඔව්, මේ ආදරණීය තාත්තා තමන්ගේ මියගිය දියණියගේ ජීවමාන ප්‍රමාණයේ කාඩ්බෝඩ් රූපයක් (Standee) පපුවට තුරුළු කරගෙනයි උපාධි ප්‍රධානෝත්සව ශාලාවට ඇතුළු වුණේ. මුළු පවුලකම තිබුණු එකම බලාපොරොත්තුව.
චෙරිලින් කියන්නේ ව්‍යාපාර කළමනාකරණ (Business Management) උපාධිය හදාරමින් සිටි ඉතාමත් දක්ෂ, ඒ වගේම කැපවීමෙන් වැඩ කරපු තරුණියක්.
ඇගේ තාත්තා ගොවියෙක්. අම්මා ගෘහණියක්. තමන්ගේ පවුල අන්ත අසරණ දරිද්‍රතාවයෙන් මුදවාගෙන, බාල සහෝදර සහෝදරියන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න ඇය වසර ගණනාවක් තිස්සේ නොකා නොබී මහන්සි වුණා. උපාධි ප්‍රදානෝත්සවයට ඉතිරිව තිබුණේ සති කිහිපයක් විතරයි.
හැබැයි දෛවය ඇයට ඉඩ දුන්නේ නැහැ. 'Lipata' වරායේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී සිදුවූ දරුණු රිය අනතුරකින් චෙරිලින් මේ ලෝකයෙන් සදහටම සමුගත්තා. පවුලේ හැමෝගෙම හීන එක මොහොතකින් සුනුවිසුනු වෙලා යද්දී මුළු ගමම කඳුළු සාගරයක ගිලුණා. චෙරිලින්ගේ අකල් මරණයෙන් ඇගේ විශ්වවිද්‍යාලයේ යහළු යෙහෙළියන් වගේම ආචාර්ය මණ්ඩලයත් දැඩි සේ කම්පනයට පත්වුණා.
ඇය උපාධි ලෝගුව ඇඳගෙන වේදිකාව මත ඇවිදින්න කොයිතරම් ආසාවෙන්ද හිටියේ කියලා ඔවුන් දැනගෙන හිටියා. අන්න ඒ නිසයි ඔවුන් අපූරු තීරණයක් ගත්තේ. චෙරිලින්ගේ රුව රැගත් විශාල පුවරුවක් (Standee) නිර්මාණය කරලා, ඇයව උපාධි පෙරහැරට සම්බන්ධ කරගන්න ඔවුන් කටයුතු කළා.
උපාධි ප්‍රදානෝත්සවය දවසේ අනෙක් සිසුන් තමන්ගේ දෙමව්පියන් එක්ක සතුටින් ඇවිදගෙන යද්දී, සේසර් (තාත්තා) තමන්ගේ මියගිය දියණියගේ රූපය පපුවට බදාගෙන පෙරහැරේ ඉදිරියෙන්ම ගියා. ඇය වෙනුවෙන් වේදිකාවට ගොස් උපාධි සහතිකය ලබාගන්නා විට ඒ තාත්තාගේ දෑසින් ගලාගිය කඳුළු, එතැන සිටි සිය දහස් ගණනකගේ හදවත් සසල කරන්න සමත් වුණා."ඇයට ඕන වුණේ අපේ පවුල දුප්පත්කමෙන් බේරගන්න. ඇය නිතරම කිව්වා මම උපාධිය ගත්ත ගමන් රස්සාවක් කරලා පවුල බලාගන්නවා කියලා..." චෙරිලින්ගේ මල්ලි, සෙරීනෝ (Cerino) පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනයි.
මේ සිදුවීම අපට ජීවිතය ගැන ලොකු පාඩමක් කියා දෙනවා. විශ්වවිද්‍යාලයකින් ලැබෙන උපාධි සහතිකයක් පිටුපස තියෙන්නේ ඒ ශිෂ්‍යයාගේ දක්ෂතාවය විතරක්ම නෙවෙයි.
ඒ පිටුපස තියෙන්නේ තමන් නොකා නොබී දරුවන්ට උගන්වන්න වෙහෙසෙන අම්මලාගේ, තාත්තලාගේ නිම කළ නොහැකි කැපකිරීම් සමුදායක්. හැම සාර්ථක දරුවෙකුටම පිටුපසින් තමන්ගේ හීන පවා කැප කරපු ආදරණීය පවුලක් ඉන්නවා.
සමහරවිට, දෙමව්පියෙක් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන අමාරුම සහ රිදවුම් බරම ගමන වෙන්නේ, තමන්ගේ දරුවා මහත් ආසාවෙන් බලා සිටි, නමුත් යන්නට වරම් නොලැබුණු ඒ ගමන, දරුවා වෙනුවෙන් තනිවම යන්නට සිදුවීමයි.ජීවිතය කියන්නේ හරිම අවිනීත, අවිනිශ්චිත තැනක්. අද අප සතු දේවල්, අප ආදරය කරන අය හෙට අපට අහිමි වෙන්න පුළුවන්.
ඒ නිසා අපිට ආදරය කරන, අපේ ජීවිත වෙනුවෙන් නිහඬවම ජීවිතය කැප කරන අම්මාට සහ තාත්තාට ඔවුන් ජීවත්ව ඉන්න කාලයේදීම අපෙන් ඉටුවිය යුතු උපරිම යුතුකම් ඉටුකිරීම අපේ වගකීමක් නේද? ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩිපුරම කැපකිරීම් කළේ කවුද? අදම ඔවුන්ට "ස්තූතියි" කියලා කෙටි පණිවිඩයක් යවන්න ඔබටත් හිතුණේ නැද්ද? එවැනි ආදරණීය චරිතයක් ඔබේ ජීවිතයේත් ඉන්නවා නම්, පහළින් කමෙන්ට් කරගෙන යන්න.