මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන අතර, ඒ අනුව රාජකාරි වෙලාව ඇතුළත අනවශ්‍ය ලෙස සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම වගේ තහනම් වෙනවා.
පහුගිය කාලය පුරාවටම දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් සහ සේවකයින් තමන්ගේ රාජකාරි වෙලාව ඇතුළතදී ආයතනයට සම්බන්ධ සංවේදී සහ රහසිගත මෙහෙයුම් තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන ප්‍රවණතාවයක් දැකගන්න ලැබිලා තියෙනවා. මේ විදියට තොරතුරු එළියට යාම නිසා මගීන්ගේ ආරක්ෂාව, ආයතනික විනය වගේම දුම්රිය සේවයේ විශ්වසනීයත්වයටත් බරපතළ විදියට තර්ජනයක් එල්ල වෙන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
කවුරුහරි මේ උපදෙස් ගණන් ගන්නේ නැතුව දිගටම සෝෂල් මීඩියා පාවිච්චි කරලා තොරතුරු එළියට දුන්නොත්, ඔවුන්ට එරෙහිව කිසිම සමාවක් නැතුව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව මේ චක්‍රලේඛයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම, මින් ඉදිරියට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු මාධ්‍යයට හෝ බාහිර අයට ලබා දෙන්න අවසර තියෙන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට, නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තොරතුරු නිලධාරියාට පමණයි. ඒ නිසා අනිත් අයට තමන්ගේ ෆේස්බුක් ගිණුම් හරහා කෝච්චි ගැන "Breaking News" දෙන්න දැන් කිසිම අවසරයක් නැහැ!