මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ තියෙන උසම කන්ද විදිහට සැලකෙන ෆුජි (Fuji) කන්දේදීයි.
48 හැවිරිදි පියෙකු තමන්ගේ පුතුන් දෙදෙනාත් එක්ක මේ ෆුජි කන්ද නගින්න ඇවිත් තියෙනවා. කන්ද නගින අතරමගදී 7 හැවිරිදි බාල පුතා තාත්තාට කියලා තියෙන්නේ තමන්ට දැන් ගොඩක් මහන්සියි, තවත් කන්ද නගින්න බැහැ කියලයි.
එතකොට මේ තාත්තා කරලා තියෙන දේ අහුවොත් ඔබත් පුදුම වේවි. ඔහු පොඩි පුතාගේ අතට පැණි බීම බෝතලයකුත්, කෙටි ආහාරයකුත් (Snack) දීලා "මෙතනට වෙලා ඉන්න" කියලා වැඩිමහල් පුතාත් එක්ක දිගටම කන්ද නැගලා.
මේ දරුවාව දාලා ගිහින් තියෙන්නේ මීටර් 2,000කට (අඩි 6,500) වඩා උසින් පිහිටි ස්ථානයකයි. ඒ වෙලාවේ අධික මීදුම සහ වැසි සහිත කාලගුණයකුත් ඒ ප්‍රදේශයේ තිබිලා තියෙනවා.
කන්ද නගින මාර්ගයේ 6 වෙනි ලැගුම්හලේ සේවකයින්ට මේ දරුවා බංකුවක් උඩ තනියම ඉන්නවා දැකලා, වහාම ජපාන පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය තාත්තාව හොයාගෙන යද්දී ඔහු ඉඳලා තියෙන්නේ දරුවා හිටපු තැන ඉඳන් පැය 3ක් විතර දුරින් තියෙන 7 සහ 8 ලැගුම්හල් අතර ප්‍රදේශයේ. තාත්තා ආපහු එනකල් පැය 8ක් තිස්සේ මේ දරුවා අධික වෙහෙසකින් සහ බියකින් අඬමින් හිටපු බවයි වාර්තා වෙන්නේ.
ලැගුම්හලට ආපු තාත්තාට ජපාන පොලිස් නිලධාරීන්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වෙලා තියෙනවා.
"ඔබට කන්ද නගින එක අතහරින්න වුණත්, මේ වගේ පොඩි දරුවෙක්ව මෙහෙම අනාරක්ෂිතව තනි කරලා යන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ!" කියලා නිලධාරීන් ඔහුට තදින්ම කියා තිබෙනවා. අවසානයේදී තමන්ගේ මේ "අපරික්ෂාකාරී" තීරණය ගැන මේ පියා පොලිසියෙන් සහ නිලධාරීන්ගෙන් සමාව අරගෙන තිබුණා.
කොහොම වුණත් කන්දක් නගින්න තියෙන ආසාවට තමන්ගේ ලේ කැටියාව මීදුම මැද දාලා ගිය මේ තාත්තාගේ වැඩේ නම් මුළු ලෝකයේම දැඩි විවේචනයට ලක්වෙලා අවසන්.