පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ධනවත් බස් රථ හිමිකරුවෙකු දැලේ දමාගත් මෙම කාන්තාව, තම ඥාතීන් විදේශයන්හි ඉහළ තනතුරු දරන බව පවසමින් විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තිබුණා. එමෙන්ම මොහු විශ්වාස කරවීම සඳහා ඇය පැමිණ ඇත්තේ ව්‍යාජ ලෙස ගුවන් හමුදා නිල ඇඳුමකින් ද සැරසීගෙනයි...
ඇයගේ මායම්වලට හසුවූ බස් රථ හිමිකරු, තම බස් රථයක් පවා විකුණා මුලින්ම රුපියල් ලක්ෂ 60ක් ඇයට අතටම ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදී රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට අධික දැවැන්ත මුදලක් ඇයට ලබාදී ඇති බවයි හෙළිව ඇත්තේ.
මුදල් ලබා ගැනීමෙන් පසු තමන් රට ගිය බව පවසමින් සැකකාරිය බස් හිමිකරු මඟහැර සිටීම නිසා ඔහු පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකාරිය සහ ඇයගේ සැමියා යැයි කියන පුද්ගලයාද කොටු කරගැනීමට පොලිසිය සමත් වුණා.
මීට පෙරද මාතර කාන්තාවකගෙන් ලක්ෂ 22ක් ඇතුළුව කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු පොලිස් ස්ථාන 15කට අධික සංඛ්‍යාවකට මෙම කපටි කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.