අමෙරිකාවේ කැලිෆෝනියා වල පැවැත්වුණු 50 වැනි ලොව අවලස්සනම සුනඛයා තේරීමේ වාර්ෂික තරගයෙන් තමයි මේ අපූරු ජයග්‍රහණය වාර්තා වෙන්නේ. තරගකරුවන් අටදෙනෙක්වම පරද්දලා කිරුළ පැළඳුවේ අවුරුදු 6ක් වයසැති 'පග්' (Pug) වර්ගයේ සුනඛයෙක් වෙන ජිනී ලූ. මේ ජිනීගේ පළවෙනි උත්සාහය නෙමෙයි, මීට කලින් තුන් වතාවක්ම තරගයට ඇවිත් පරාද වෙලා, හතරවෙනි පාර තමයි මේ විදියට ජිනීට වාසනාව පෑදිලා තියෙන්නේ. උත්සාහය අතනාරින්න එපා කියන්නේ මේකට තමයි!
ජිනීට නිකම්ම නිකන් කිරුළක් විතරක් නෙමෙයි ලැබුණේ. ඩොලර් 5,000ක (ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 15කටත් කිට්ටුයි!) දැවැන්ත ත්‍යාග මුදලකුත් ජිනීට හිමිවුණා. ඒ විතරක් ද, ජනප්‍රිය 'Mug Root Beer' ටින් එකේ ජිනීගේ මූණ මුද්‍රණය කරන්නත් නියමිතයිලු. කැතයි කියලා සමාජයෙන් කොන් වෙන අයට ජිනී හොඳ ආදර්ශයක් නේද?
මේ අතරේ ලෝකේ අනිත් කෙළවරෙන්, ඒ කියන්නේ දකුණු කොරියාවෙන් සුනඛයින්ට තවත් සුබ ආරංචියක් ඇහෙනවා. ඒ තමයි දකුණු කොරියාවේ ග්‍රීෂ්ම ඍතුවේ සාම්ප්‍රදායිකව සුනඛ මස් කන "බොක්නාල්" (Boknal) උත්සවය මේ අවුරුද්දේ අවසන් වරට පැවැත්වීම.
2024 ජනවාරි මාසයේදී කොරියානු පාර්ලිමේන්තුව විසින් සුනඛයින් බෝ කිරීම, ඝාතනය සහ මස් පිණිස විකිණීම තහනම් කරලා දැඩි නීති සම්මත කළා. වසර 3ක සහන කාලයක් දීලා තියෙන නිසා 2027 පෙබරවාරි ඉඳන් මේ තහනම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉන්පස්සේ මේ නීතිය කැඩුවොත් හිරේ යන්නයි, ලොකු දඩ කන්නයි තමයි වෙන්නේ.
කොහොම වුණත් මෑතකදී කරපු සමීක්ෂණවලින් පේන විදියට කොරියානුවන්ගෙන් 90%කටත් වඩා වැඩි පිරිසක් දැන් සුනඛ මස් කන්න කිසිම අදහසක් නැහැල්ලු. ඒ වගේම 80%ක්ම මේ තහනමට පූර්ණ සහය දීලා තියෙනවා. කොටින්ම කිව්වොත්, දැන් මුළු ලෝකෙම ඉන්න බලු පැටවුන්ට හොඳ කලක් ගිහින් කියලයි පේන්න තියෙන්නේ!