කුලියාපිටියෙන් ජපානයට පියනැගූ ප්‍රවීන් ඉසුරු කියන ඒ අහිංසක තරුණයාටත් තිබුණේ අන්න ඒ වගේ පුංචි බලාපොරොත්තු ගොඩක්.
නමුත්, ජපානයේදී එකම කාමරයේ සිටි තම ලාංකික මිතුරාගේ අතින් සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් ප්‍රවීන්ගේ ජීවිතය සදහටම නතර වුණා.
තමන්ගේ පපුවේ තියෙන දරාගත නොහැකි වේදනාව හිරකරගෙන, ඇස්වල කඳුළු පුරවාගෙන ඒ අසරණ තාත්තා කියපු මේ කතාව අහන් ඉන්නත් හරිම අමාරුයි...
"හැමදාම වයිෆ් උදේ පුතාට කෝල් ගන්නවා.. දහවෙනිදා කතා කරාම ආන්සර් කරේ නෑ. ඇත්තම කතාව අපි දන්නේ නැහැ. පුතා පණපිටින් හිටියා නම් මට දැනගන්න තිබ්බා ඔක්කොම දේවල්. මට බොරු කරන්නේ නෑ කවදාවත්..."
තම පුතා ගැන අසීමිත විශ්වාසයක් තිබූ ඒ තාත්තා, එදින සිදුවූ ඒ අවාසනාවන්ත මොහොත සිහිපත් කළේ මෙසේයි...
"අන්තිමට මට සෙන්සෙයි කියලා එක්කෙනෙක් කතා කළා. මම ටවුන් යන ගමන් හිටියේ. 'ප්‍රවීන් ඉසුරුගේ තාත්තද?' කියලා ඇහුවා. කතා කළේ මගේ පුතාගේ ෆෝන් එකෙන්මයි. අම්මා ඉන්නවාද අහලා, මම විනාඩි පහෙන් ගෙදර ආවා..."
"ආයේ පැය භාගෙකින් විතර කෝල් එකක් ආවා. පුතා ප්‍රශ්නයක් වෙලා ICU ඉන්නවා කියලා කිව්වා.. බිරිඳ අඬන්න ගත්තා. මම එයාව සනසන්න කිව්වා 'චුට්ටක් ඉන්න. ජපානය කියන්නේ පොඩි රටක් නෙවෙයිනේ, මොකක් හරි කරන්න පුළුවන්නේ' කියලා..."
"ආපහු අපේ ලොකු පුතාට කවුරුහරි කෝල් එකක් අරන් තියෙනවා. නැතිවුණ පුතාගේ ෆෝන් එකේ නොම්බර ඇතිනේ... 'ලොකු අයියා' කියලා ගහලා ඇති. තාත්තා කියලා ඇති මගේ නම..."
"වැඩ නවත්තලා ලොකු පුතත් ආවා. ඇවිත් පිස්සෙක් වගේ කෑගහන්න ගත්තා මෙතන... හේතුව මම දන්නේ නෑ. පැයකට විතර පස්සේ ආයේ කෝල් එකක් ආවා... පුතා නැති වුණා කියලා..."
ඒ නිවස දෙස බලන විට ලොකු වත්පොහොසත්කම් තියෙන පාටක් නෑ. දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන දුර රටකට ගිය ඒ අහිංසක තරුණයාට අද සිදුවූ දේ ගැන අසන්නට ලැබීමත් මහත් කණගාටුවක්.
අද කාලේ මිනිස්සු ළඟ ඉවසීම ඇත්තෙම නැති තරම්. තව කෙනෙක් ගැන සහකම්පනයෙන් හිතන, කාරුණික හදවත් අද සමාජයෙන් ඈත් වෙලා. එක මොහොතක ඇතිවෙන ක්ෂණික කෝපය නිසා අන්තිමට කී දෙනෙක්ගේ ජීවිත අඳුරු වෙනවාද? කී දෙනෙක් නම් විඳවනවාද?
bbc පුවත් සේවය ඇසුරෙන්