මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරක දමුණුපොල මහතා සඳහන් කළේ, විදේශ රටක සිට මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම ජාවාරම්කරුවන් විසින් ප්‍රථමයෙන්ම සිදු කරන්නේ අතිශය සුරූපී තරුණියකගේ ඡායාරූප යොදාගත් ව්‍යාජ ගිණුමකින් ඔබ වෙත කෙටි පණිවුඩයක් (Hi / Hello) එවීමයි. ඉන්පසුව ක්‍රමයෙන් කතාවට අල්ලා ගන්නා මොවුන්, අනෙක් පාර්ශවයට වීඩියෝ ඇමතුමක් (Video Call) ගන්නා ලෙසට ඉල්ලීමක් කරනු ලබනවා.
ඇමතුම ලබාගත් පසු, ඉදිරියෙන් සිටින තරුණියගේ උපක්‍රමශීලී රැවටීම්වලට හසුවන පුද්ගලයන්ව නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පෙන්වීමට/ලබාදීමට පොළඹවා ගැනීමයි මීළඟ පියවර වන්නේ.
ඔබ නොසිතන මොහොතක අදාළ වීඩියෝ ඇමතුම Screen Record කරගන්නා මෙම ජාවාරම්කරුවන්, පසුව එම නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔබේ පවුලේ සාමාජිකයන්ට, හිතවතුන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් දිගින් දිගටම විශාල වශයෙන් කප්පම් මුදල් ඉල්ලා සිටින බවයි අනාවරණය වී ඇත්තේ.
එම නිසා හඳුනන්නේ නැති සුරූපී තරුණියන්ගේ ගිණුම්වලින් එන මෙවැනි වීඩියෝ කෝල් සහ මැසේජ්වලට රැවටී ඔබේ ආත්මගෞරවය මෙන්ම මුදලුත් නැති කරගන්න එපා කියලා තොරතුරු තාක්ෂණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..