පෙරහැරේ ධාතු කරඬුව වැඩමවන තේජාන්විත හස්තිරාජයාගේ සිට ජාතික වනෝද්‍යානයක නිදහසේ සැරිසරන වන අලියා දක්වාම ඔවුන් අපේ රටට සම්පතක්. නමුත් අද, අගෝස්තු 12 වැනිදාට යෙදෙන ලෝක අලි දිනය සමරන මොහොතේ, අපේ රටේ අලි ඇතුන්ගේ ඉරණම ගැන ඇහෙන්නේ හදවත කම්පා කරවන කතාන්දරයකි.
අලියා යනු මහ කැලයේ අභිමානයයි. එහෙත් අද වන විට මහ කැලය ඔවුන්ට අහිමි වෙමින් පවතී. මිනිසාගේ අක්‍රමවත් සංවර්ධනය සහ කැලෑ එළිපෙහෙළි කිරීම් හමුවේ අලින්ගේ නිජබිම් දිනෙන් දින හැකිළෙමින් තිබේ. ඔවුන්ට පරම්පරා ගණනාවක් තිස්සේ උරුම වී තිබූ නිදහස් ගමන් මාර්ග හෙවත් "අලි මංකඩවල්" අද වන විට කොන්ක්‍රීට් වනාන්තරවලින් සහ විදුලි වැටවල්වලින් අවහිර වී අවසන්ය. කෑම බීම සොයාගෙන ඔවුන්ට පුරුදු පාරවල් දිගේ එන අලින්ට අද සිදුව ඇත්තේ අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
අලි මිනිස් ගැටුම යනු කිසිවෙකුටත් ජයග්‍රහණයක් අත්නොවන ඛේදවාචකයකි. 2026 වසරේ මේ ගෙවුණු මාස කිහිපය ඇතුළත පමණක් අපට අලි ඇතුන් 200කට අධික ප්‍රමාණයක් සදහටම අහිමි වී තිබේ. ඉන් බහුතරයක් මියගොස් ඇත්තේ වෙඩි තැබීම්, හක්කපටස් සහ විදුලිසැර වැදීම වැනි කෲර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
අනෙක් අතට, අහිංසක මිනිස් ජීවිත 79ක් පමණ මේ වසර තුළදී පමණක් අලි ප්‍රහාරවලින් අහිමි වී ඇත. රාත්‍රියේ පැල් රකින ගොවියාත්, කෑම සොයා එන වන අලියාත් දෙදෙනාම ජීවත් වීමේ සටනක නිරත වන අසරණයින් බවට පත්ව ඇත. මේ යුද්ධයෙන් සිදුවන්නේ දෙපාර්ශ්වයේම ලේ හැලීමක් පමණි.
මෙවර ලෝක අලි දිනයේ තේමාව වන්නේ ඔවුන්ට ඔවුන්ගේ නිදහස් සංචරණ මාර්ග නැවත ලබා දීමයි. අලින්ගේ ගමන් මාර්ගවල ඇති මිනිස් ජනාවාස ඉවත් කර, නිදහසේ ඔවුන්ට ගමන් කළ හැකි වන පරිදි "වැටහිරකන්ද, හඳපානාගල, කොහොලංකල" වැනි අලිමංකඩවල් ගැසට් කිරීම අනාගතය වෙනුවෙන් තබන සාධනීය පියවරකි. අලින්ගේ නිවස ඔවුන්ටම ලබා දීම මිස ඔවුන් අපේ ගම්මානවලට ඒම වැළැක්වීමට වෙනත් විකල්පයක් නැත.
ස්වභාවධර්මයේ මේ යෝධ නිර්මාණය අනාගත පරපුරට දකින්නට ඉතිරි විය යුත්තේ කෞතුකාගාරයේ ඇති ඡායාරූපයකින් හෝ ඇටසැකිල්ලකින් නොවේ. නිදහසේ සැරිසරන මේ දැවැන්තයන්ට ඔවුන්ගේම භූමියේ ජීවත් වීමට අයිතියක් ඇත. ලෝක අලි දිනයේ අපේ ඒකායන ප්‍රාර්ථනය විය යුත්තේ, අලි - මිනිස් කඳුළු කතාවට තිත තබා, දෙපාර්ශ්වයටම සහජීවනයෙන් ජීවත් විය හැකි හෙට දවසක් නිර්මාණය කිරීමයි.